“සුජාත දරුවෝ” වැඩසටහන මාර්තු 15 වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) –නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනීම සඳහා සුජාත දරුවෝ වැඩසටහන මාර්තු 15 වනදා සිට දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(28) එක්වෙමිනි.

මත් උවදුර මැඩීමට එක් පැත්තකින් නීතිය ශක්තිමත් කිරීම, දඩුවම් දීම වගේම අනෙක් පැත්තෙන් නිවාරණය, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වීම මේ කටයුතු පිළිබඳ රජය නව වැඩසටහන් රාශියක් ආරම්භ කර ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජය ආරම්භ කර තිබෙන වැඩසටහනට රටේ සෑම අයකුගේම සහාය හිමිවන බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශ්ව දැඩි උනන්දුවකින් පසුවන බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සුගතදාස ගෘහස්ථ එළිමහන් ක්‍රීඩාංගන පරිශ්‍රයේ ඉදිකර තිබෙන ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව ගොඩනැගිල්ල ඊයේ විවෘත කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

මහල් 5කින් යුත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 190ක්. ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් තහනම් උත්තේජක පරික්‍ෂණ සිදු කිරීමට අවශ්‍ය කලාප මෙම ගොඩනැගිල්ල තුළ ස්ථාපනය කර ඇත. එමෙන්ම සම්මන්ත්‍රණ හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයකින් ද මෙය සමන්විතය.

සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි. ඉන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිතුමාට සිය ස්තූතිය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 1 =