රණවිරු විජයග්‍රහණයේ දස වස් පූර්ණය නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක්

(කොළඹ, ලංකාපුවත්) – එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයෙන් ශ‍්‍රී ලංකා මාතෘ භූමිය මුළුමනින් නිදහස් කරගත් රණවිරු විජයග‍්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරිත්වය ආරක්ෂා කරනු වස් දිවිපිදු, අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුදකිරීම සහ අනුස්මරණය කිරීම උදෙසා සෑම වසරකම රණවිරු සැමරුම් මාසයක් කි‍්‍රයාත්මක කරමින් විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරෙයි.

රණවිරු විජයග‍්‍රහණයට දස වසරක් සපිරෙන මෙම 2019 වසරේ දී රණවිරු සැමරුම් වසරක් ප‍්‍රකාශයට පත් කරමින් වඩා පුළුල් වැඩසටහන් මාලාවක් දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් රණවිරු සේවා අධිකාරිය පියවර ගෙන ඇත.

රණවිරු සැමරුම් වසර ප‍්‍රකාශයට පත් කරමින් ඒ හා සමගාමී ව දියත් කර ඇති රණවිරු කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලියනගේ මහතා විසින් ඊයේ(05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැලඳවීය.

2018 වසරේ රණවිරු කොඩි ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙහි දී නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා එය රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා වෙත භාර දුන්නේ ය.

ඉන් අනතුරුව 2019 රණවිරු කොඩි ජනාධිපතිතුමා අතින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත භාර කෙරිණි.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, විජයදාස රාජපක්ෂ, මහින්ද අමරවීර යන මහත්වරුන් ද පළාත් ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප‍්‍රධාන ලේකම්වරුන් ද. ති‍්‍රවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *