උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට මිලියන 1,267ක්

(කොළඹ, ලංකාපුවත්) – බිම් බෝම්බවලින් තොර දේශයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා උතුරේ වළදමා තිබෙන බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1,267 (ඇමෙරිකානු ඩොලර් මිලියන 7) මුදලක් ලබාදීමට නෝර්වේ රජය තීරණය කරයි.

වසර තුනක කාලයක් සඳහා මේ මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබෙන අතර ශ්‍රී ලංකාව බිම් බෝම්බ හේතුවෙන් විශාල වශයෙන් පීඩාවිඳ තිබෙන නමුත් මේ වනවිට ශ්‍රී ලංකාවේ අරමුණ වන්නේ බිම් බෝම්බවලින් තොර රටක් නිර්මාණය කිරීම බව ශ්‍රී ලංකාවේ රාජකීය නෝර්වේජියානු තානාපති කාර්යාලය පවසයි.

මේ වසරේ දී බිම් බෝම්බ තහනම් කිරීමේ ගිවිසුමේ සභාපතිත්වය නෝර්වේ රාජ්‍ය උසුළන අතර ශ්‍රී ලංකාවට ඔවුන්ගේ අරමුණ ඉටු කැර ගැනීම සඳහා සහාය දීමට අපේක්ෂා කරන බව නෝර්වේ විදේශ කටයුතු ඇමැතිනී ඉනේ මාරි එරික්සන් සොරෙයිඩි මහත්මිය ප්‍රකාශ කරයි.

නෝර්වේ හි මෙම මූල්‍ය දායකත්වය පිළිබඳව නෝර්වීජියානු රාජ්‍ය ලේකම් මේරි ඈන් හාගන් මහත්මිය ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙන අතර ජාතික සහ අන්තර්ජාතික සංවිධානයන්ගේ සහයෝගයෙන් ශ්‍රී ලංකාව පුළුල් ලෙසින් බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන්වල යෙදී සිටී. 2018 වසරේ දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත්කර ඇති භූමි ප්‍රතිශතය සියයට 94 කි. මේ කටයුත්තේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව යෙදී සිටිනා දැවැන්ත ප්‍රයත්නයට නෝර්වේ හි දායකත්වය වැදගත් වනු ඇත.

බිම් බෝම්බ ඉවත්කිරීම යනු ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළේ වැදගත් කොටසක් වන අතර එමඟින් තම නිවෙස් හැර යන්නට සිදු වූ පවුල්වලට ඉන්පසු නැවත පැමිණීමේ හැකියාව ලැබෙන බවද එරික්සන් සොරෙයිඩි මහත්මිය පෙන්වා දෙයි.

බිම් බෝම්බ ඉවත් කිරීමට සහය දීම 1997 ඔස්ලෝ හිදී පිහිටවූ බිම් බෝම්බ තහනම් කිරීමේ ගිවිසුම හරහා නෝර්වේ වෙත පැවරී ඇති වගකීමක් වන අතර 2018 දී රටවල් 18 ක බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතීන්වලට නෝර්වේ ක්‍රෝන මිලියන 325 ක් ආණ්ඩුව සපයා ඇත. මෙම ආධාර සැපයීම 2019 දීත් කරගෙන යනු ඇති අතර මෙයද නෝර්වේ හි නව මානවවාදී සැලසුම හා බැඳී පවතී.

නෝර්වේ වෙතින් ලැබූ ආධාර දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින බිම් බෝම්බ ඉවත්කිරීමේ සංවිධානයන් දෙකක් වන Mines Advisory Group (MAG) සහ HALO Trust හරහා ක්‍රියාත්මක කරනු ඇත. මානවවාදී බිම් බෝම්බ ඉවත් කිරීම හරහා නෝර්වේ හි ප්‍රධාන අරමුණ වන්නේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම බවද ශ්‍රී ලංකාවේ රාජකීය නෝර්වේජියානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *