යාපනයට ඔලිම්පික් ප්‍රමිතියෙන් යුතු ජල ක්‍රීඩා සංකීර්ණයක්

(කොළඹ, ලංකාපුවත්) –විදේශීය රටක සිටින අනුග්‍රාහකයෙකු විසින් ඔලිම්පික් ප්‍රමිතියෙන් යුතු ජල ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරිම සඳහා උනන්දුවෙන් සිටින අතර ඒ සඳහා සුදුසු ස්ථානයක් යාපනය ප්‍රදේශයෙන් සොයාදෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.

යාපනය දිස්ත්‍රික් ලේකම්තුමා මේ සඳහා සුදුසු ස්ථාන කිහිපයක් යෝජනා කර ඇති අතර එම ස්ථාන නිරීක්ෂණය කිරීමෙන් පසු මානිපායි ප්‍රාදේශීය සභාවට අයත් සෙල්ලමුත්තු ක්‍රීඩාංගනය ඒ සඳහා තෝරාගෙන ඇත.

අනුග්‍රාහකයා විසින් මානිපායි ප්‍රාදේශීය සභාව සමග ඇති කරගත් එකඟතාවට අනුව ජල ක්‍රීඩා සංකීර්ණයේ පරිපාලන කටයුතු කරගෙනයාම සදහා ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘Foundation of Goodness’ යෝජනා කර ඇත. මෙම පදනම මගින් අනුග්‍රාහකයා ආධාර කරනු ලබන සීනිගම පිහිටි ජල ක්‍රීඩා සංකීර්ණයේ ද පරිපාලන කටයුතු කරනු ලබයි.

2019 මාර්තු 16 දින සීනිගම පිහිටි ජල ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක් සදහා ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළුව සාමාජිකයන් 33 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයන් පිරිසක් සුදානමින් සිටින අතර එහිදී ජල ක්‍රීඩා සංකීර්ණයේ සංකල්පය සහ සාර්ථකත්වය සඳහා අවැසි අනෙකුත් සාධක පිළිබදව අවබෝධයක් ලබාගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *