පසුගිය වසර හතරේ රාජ්‍ය සේවක වැටුප් 107%කින් වැඩිකළා

(කොළඹ, ලංකාපුවත්) – වසර 2015 සිට අවුරුදු හතරක කාලය තුළ රාජ්‍ය සේවක වැටුප් සියයට 107කින් වැඩිකොට තිබියදීත්, මෙවර අයවැයෙන් ඊටත් අමතරව ඔවුනගේ වැටුප් වැඩිකළ බව මුදල් ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

‘රාජ්‍ය සේවකයන්ට වසර 2015 සිට 2018 දක්වා සියයට 107කින් වැටුප් වැඩි කොට තිබෙනවා. මෙවර අයවැයෙන් ඔවුන්ට මාසිකව රුපියල් 2500 අතුරු දීමනාවක් ලබා දුන්නේ ඊටත් අමතරව’ යැයි මුදල් ඇමැතිවරයා කීය.

මුදල් ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) සවස කොළඹ, කොටුව පිහිටි මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට වසර හතරක් තුළ රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමූ අප මෙවර ඉදිරිපත් කළේ ආණ්ඩුවේ පස්වැනි අයවැය වුවත් එය එක්සත් ජාතික පෙරමුණේ පළමු අයවැය ලෙස හැඳින්විය හැකි බවද මංගල සමරවීර මහතා කීය.

එක්සත් ජාතික පෙරමුණු රාජ්‍ය රටේ ආර්ථිකය ලිහිල්කරණය කොට වඩාත් වගකීම් සහගත කාර්යක්ෂමව සමාජ වෙළෙඳපොල ක්‍රමවේදයක් කරා රට මෙහෙයවන අතර, සමාජයේ ආරක්ෂණය ලැබිය යුතු පිරිස් වෙත ප්‍රතිලාභ අත්කරදීමටද අයවැයෙන් පියවර ගෙන ඇතැයි ද මංගල සමරවීර මහතා සඳහන් කෙළේය.

අපි මෙවර අයවැයෙන් බොහෝ දේ යෝජනා කළා. රටේ සමස්ත ආර්ථික, සමාජයික යටිතල පහසුකම් දියුණු කිරීම ඉන් ප්‍රධානයි. ඒවාගේම ජනතාවට ශක්තියක් ලබාදෙමින්, දුප්පතුන්ට රැකවරණය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවක් බිහි කරන්නට යෝජනා කළා.

ඒ අතුරින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම හා විශ්‍රාමිකයින්ගේ දීමනා වැඩිකිරීම, ආරක්ෂක අංශවල දීමනා ඉහළ දැමීම ගැන පමණයි විශේෂයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරන්නේ.

සමහරු කියනවා මෙය මැතිවරණයක් ඉලක්ක කොටගෙන ආ අයවැයක් බව. මේ අවුරුද්දේ ඔක්තෝම්බර් අන්තිමට ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. ඊට පෙර හෝ පසුව පාර්ලිමේන්තු මහා මැතිවරණයක් පැවැත්විය හැකියි. නමුත් නියමිත පරිදි මහා මැතිවරණයක් පැවැත්විය යුත්තේ වසර 2020 අගෝස්තු මාසයෙන් පසුවයි.

අපි රටේ ජනතාවට සහන සලසන්නේ මැතිවරණ බලාගෙන, ඒවා ඉලක්ක කරගෙන නොවෙයි. අපි ජනතාවට ප්‍රතිලාභ අත්කරදෙන යෝජනා ගෙන ආ නිසා අද කවුරුත් අයවැයට බනින්නේ නැහැ. ටික දෙනෙක් අප කළ යෝජනා ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වෙනවා.

අද රටේ ආර්ථික අර්බුදයක් නැහැ. මේ අවස්ථාවේ රටේ තිබෙන්නේ අභියෝගාත්මක තත්ත්වයක්. රටේ ආර්ථික අර්බුදයක් ඇතිවුණේ ඔක්තෝම්බර් 26 වැනි සිට දින 52 කාලය තුළයි.

අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික නියමිත පරිදි ලැබුණේ නැහැ. ඇමෙරිකානු මිලේනියම් අරමුදලේ ප්‍රදානයන් ලැබුණේ නැහැ. ඒ සියල්ල අපි මේ වන විට නැවත ලබා ගැනීමට සමත් වුණා. දැන් මේ අභියෝගාත්මක පසුබිම ජය ගනිමින් රට ඉදිරියට ගෙන යෑමයි අපි සිදු කරන්නේ. මෙම මාධ්‍ය හමුවට මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. ඒ. විමලේන්තිරරාජා සහ බදු උපදේශිකා තනූජා ඒකනායක යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *