ඇමති රිෂාඩ්ගේ, සංවිධායකගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – තමා ජීවත්වන මට්ටක්කුලිය නිවසට අද(12) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව බස්නාහිර පලාත්සභා මන්ත්‍රී (සමස්ත ලංකා මහජන කොංග්‍රසය) මොහොමඩ් ෆායිස් මහතා පවසයි.

අලුයම දෙකයි තිහට පමණ මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර එය මන්ත්‍රීවරයාගේ නිවස පිහිටි ඉහල මාලයේ දොර අසලට පතිත වී පුපුරා ගොස් තිබුනු අතර නිවසේ සිටි මන්ත්‍රීවරයාට හෝ පවුලේ කිසිවකුට මෙම ප්‍රහාරයෙන් අනතුරක් සිදුවී නොතිබුනි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ තමන්ට මීට පෙර අවස්ථා දෙකකදී ද මෙවැනි ප්‍රහාර එල්ලවී ඇති නමුත් තමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි .අද සිදුවූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා තමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසද බස්නාහිර පළාත්සභා මන්ත්‍රී මොහමඩ් ෆායිස් මහතා රජයෙන් ඉල්ලා සිටී.

තම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆායිස් මහතා ගේ නිවසට එල්ලවූ මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ මෙම සිද්ධිය පිටුපස සිටින පුද්ගලයින් රටට හෙලිදරව් කිරීම පොලීසියේ හා ආරක්ෂක අංශවල යුතුකම හා වගකීම බවත්, තම මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සුදුසු පියවර ගනු ඇතැයි තමා විශ්වාස කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *