අලුත් දුම්රියට ජපානයෙන් යෙන් මිලියන 30,040ක්

(කොළඹ, ලංකාපුවත්) –මාලබේ – කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන රුපියල් මිලියන 48,000ක (ජපන් යෙන් මිලියන 30,040) සහන ණය ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අස්සන් තබයි.

ඒ අනුව මෙම සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමට ඉංජිනේරු සේවා සහ ඉදිකිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය අතර සහන ණය ගිවිසුමට ඊයේ (11) අත්සන් කළ අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මෙරට ප්‍රධානී ෆුසාටෝ ටනාකා මහත්වරු ඊට අත්සන් කළහ. මෙම සහන ණය මුදල හරහා ශ්‍රී ලංකාවේ පළමු වරට විදුලියෙන් ක්‍රියාත්මක නාගරික පොදු ප්‍රවාහන දුම්රිය සේවයක් ආරම්භ වෙමින් වාණිජ අගනුවර හා පරිපාලන අගනගරය එකට සම්බන්ධ වන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය පවසයි.

කොළඹට පැමිණීමට ඇති තදබදය අධිකම හා දුම්රිය මාර්ගයක් නොමැති එකම ප්‍රවේශ මාර්ගය මාලබේ – කොළඹ කොටුව ප්‍රවේශ මාර්ගය වන අතර මාලබේ – කොටුව සැහැල්ලු දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර දළ වශයෙන් කිලෝ මීටර 16කි. මාලබේ තොරතුරු තාක්ෂණ අංගණය, බත්තරමුල්ල, රාජගිරිය, කොටාපාර දුම්රිය ස්ථානය, ජාතික රෝහල සිට වර්තමාන කොටුව දුම්රිය ස්ථානය දක්වා ජනාකීර්ණ ස්ථාන ආශ්‍රිත නැවතුම් ස්ථාන 16ක් මෙම ප්‍රවාහන පද්ධතියට අඩංගු වන අතර මෙම දුම්රිය මාර්ගය ඉහළට එසවුණු කණු මත ඉදිවීම හේතුවෙන් ඉඩම් අත්පත් කරගැනීමේ අවශ්‍යතාව අවම වේ.

උදෑසන සහ සවස, කාර්යබහුල වේලාවන්හි දී සෑම මිනිත්තු 2-3 වරක් දුම්රියක් ධාවනය කිරීමට නියමිත අතර මැදිරි හතරකින් යුත් එක් දුම්රියකින් මගීන් 800ක් පමණ ප්‍රවාහනය කළ හැකි බවද අනාගත අවශ්‍යතාව මත දුම්රිය මැදිරි වැඩි කළ හැකි බවද පෙන්වාදෙන ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය පැයට කිලෝ මීටර 80ක උපරිම වේගයකින් යුත් මෙම දුම්රියට මාලබේ සිට කොටුව බලා යාමට ගතවන කාලය දළ වශයෙන් මිනිත්තු 30කි.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු, දුම්රිය සහ ඉංජිනේරු සේවා යනාදිය වෙනුවෙන් වාර්ෂික මූල්‍ය අවශ්‍යතාව අනුව කොටස් වශයෙන් සහන ණය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජයිකා ආයතනයෙන් ඉල්ලුම් කර ඇත.

මාලබේ – කොටුව නාගරික සැහැල්ලු දුම්රිය ප්‍රවාහන සේවය ඉදිකිරීමේ දී ජපන් තාක්ෂණය යොදාගැනෙන අතර ශ්‍රී ලංකාව සහ ජපානය අතර තාක්ෂණ හුවමාරුව සහ ආර්ථික සහයෝගීතාව නඟාසිටුවීමට ජයිකා මෙම සහණ ණය ලබාදෙන්නේ විශේෂ ආර්ථික සහයෝගිතා වරප්‍රසාද යටතේය. එනම්, ඉදිකිරීම් කටයුතු සහ උපකරණ වියදම සඳහා සියයට 0.1ක් සහ ඉංජිනේරු සේවා වියදම් සඳහා සියයට 0.01ක වැනි ඉතා අවම වාර්ෂික පොලී අනුපාත අය කෙරෙන අතර ණය ආපසු ගෙවීමේ කාලසීමාව වසර 40කි. ඊට වසර 12ක සහන කාලයක් ද අන්තර්ගතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *