කරන්නාගොඩගෙන් පැය 08ක ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, ඒ මහතා ගෙන් පැය අටක පමණ කාලයක ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

උසස් අධ්‍යාපනය ලබන සිසුන් 5දෙනෙක් ඇතුළු තරුණයන් 11ක් 2008 සහ 2009 කාල වකවානුවේ දී පැහැරගෙන පවුලේ ඥාතීන්ගෙන් කප්පම් ගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කරන්නාගොඩ මහතාව කැඳවූවත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැත. කරන්නාගොඩ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවමින් නිකුත් කළ දැනුම්දීම් ඔහු පදිංචිව සිටින බව සඳහන් නිවාස දෙකකට භාරදුන්න ද එම දැන්වීම් තමාට නොලැබුණු බව සඳහන් කරමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම මඟහැරිය බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහරිමින් සිටි ඔහු ඒ කාලය තුළ තමාව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික යිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබීය. එහි තීන්දුව ඉකුත් 7 දා ප්‍රකාශ කරමින් පෙත්සම් විභාගය අවසන්වන තුරු ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය. එසේම කරන්නාගොඩ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ 11දා පෙනී සිටින ලෙසය.

ඊයේ පෙරවරු 9ට පමණ පැමිණි කරන්නාගොඩ මහතා අනතුරුව ප්‍රකාශ ලබා දීමෙන් පසු පස්වරු 2ට පමණ පිටත්ව ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කරන්නාගොඩ මහතාගෙන් හෙටත් (13) ප්‍රකාශ ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *