නීල හරිත ලොවකට ජනපතිගෙන් යෝජනා හතරක්

(කොළඹ, ලංකාපුවත්) – සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප‍්‍රවණතා හඳුන්වාදීම අද දවසේ සියලුදෙනාගේ ප‍්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය අමතා සිය විශේෂ දේශනය සිදු කරමිනි.කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපතිතුමා මෙම සමුළුවට එක්විය.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන්, ශ‍්‍රී ලංකා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩි‍්‍ර රජොයිලිනා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් නයිරෝබි නුවර එක්සත් ජාතින්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වුණු සමුළුවට රටවල් 58 ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයන් පන්දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.

“පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්, යන්න සමුළුවේ තේමාවයි.

මෙම සමුළුවට සහභාගීවීම සඳහා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා ඇතුළු සෙසු රාජ්‍ය නායකයන් සමග ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සමුළු පරිශ‍්‍රය වෙත පැමිණියේ පා ගමනිනි.

සමුළු ශාලාව වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව කේන්යාවේ කැබිනට් ලේකම් Monica Kum මහත්මිය සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ කෙන්යාවේ නියෝජ්‍ය මහලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිසක් විසින් හරසරින් පිළිගන්නා ලදී.

පුනර්ජනනීය බලශක්ති සඳහා නව ව්‍යාපාර ආකෘති, නමින් සමගාමී සමුළුවක් ද ප‍්‍රධාන සමුළුවට පෙර ආරම්භ කෙරණු අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊට ද සහභාගි විය.

එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරයේ ඉහළ පෙළේ සැසිය ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා සමුළුවේ ආරම්භක දේශනය සිදු කළ අතර තුන්වන කථිකයා ලෙස ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සමුළුව ඇමතීය.

එහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ බෞද්ධයකු වන තමන් මානව වර්ගයාගේ පෝෂණය සුරක්ෂිත කිරිමට පමණක් නොව, සමස්තයක් වශයෙන් ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා බැඳී සිටින බවයි.

සොබාදහමින් මෙන්ම සංස්කෘතික උරුමයන්ගෙන් ද පොහොසත් රටක් වන ශ‍්‍රී ලංකාව රටේ සමාජ ආර්ථික සංවර්ධනය නංවාලීම සඳහා සොබාදහම සහ සොබාදහමට නෑකම් කියන තිරසර ව්‍යාපාර සඳහා ප‍්‍රාග්ධනය යෙදවීමට කැමැත්තෙන් සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මෙවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිය ශක්තිමත් පදනමක් සහ මෙවලමක් ලබාදෙන බව ද කියා සිටියේ ය.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා පෙර නොවූ විරූ ආකාරයේ ගෝලීය කැපවීමක් පෙන්නුම් කරන පැරිස් ගිවිසුමට ශ‍්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර, 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයෙහි අප රට දෙවන ස්ථානයට වැඩිම අවදානමක් පවතින රට වශයෙන් නම් කිරීම හේතුවෙන් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීමට ශ‍්‍රී ලංකාව දැඩිව කැපව සිටින බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ගෝලීය පරිසර ගැටලු සඳහා දරිද්‍රතාවය සුවිශේෂි හේතුවක් බවයි. පාරිසරික පරිහානිය සහ දරිද්‍රතාවය අතර එකිනෙකට සමීප සම්බන්ධතාවයක් පවතින අතර එය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙන් කළ නොහැකි සම්බන්ධතාවයක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය වශයෙන් ජීවත් වන්නන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ලංකාවේ ග‍්‍රාමීය වශයෙන් ගත් කළ ගොවිතැනට අවශ්‍ය වන කාලගුණික තත්ත්වයන් මෙන්ම හරිතකරණය සඳහා හොඳ විභවයන් පවතින බව ද පැවසීය. එබැවින් ශ‍්‍රී ලංකාව කෘෂිකර්මාන්තය තුළට තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනයත්, විද්‍යාව සහ තාක්ෂණයත් ගොනු කිරීමට කැමැත්තෙන් සිටින බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මේ අතර ශ‍්‍රී ලංකාවේ සම අනුග‍්‍රාහකත්වයෙන් යෝජනා හතරක් එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය සඳහා ඉදිරිපත් කිරීම සුවිශේෂී විය.

කඩොලාන තිරසර ලෙස කළමනාකරණය, ආහාර නාස්තිය සහ අපතේයාම කළමනාකරණය, සමුද්‍රිික කසළ සහ ක්ෂ්ද්‍ර ප්ලාස්ටික් කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන ක්ෂේත‍්‍ර යටතේ එම යෝජනා ඉදිරිපත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෑතකදී අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයන්ගේ රැස්වීමේ දී ශ‍්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය නිල් ප‍්‍රඥප්තිය යටතේ කඩොලාන ශාක ප‍්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබඳව කාර්ය සාධන බලකායේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරන බවයි.

තිරසර පරිභෝජනය සහ නිෂ්පාදන ප‍්‍රතිපත්තියක්, ප‍්‍රතිපත්ති අනුග‍්‍රහ වැඩසටහනෙහි සහයෝගය ඇතිව සකස් කළ දකුණු ආසියානු කලාපයේ ප‍්‍රථම රට ශ‍්‍රී ලංකාව බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ගොඩබිම හා සමුද්‍රය ආවරණය වන පරිදි නීල හරිත ප‍්‍රවේශයක් වෙත ප‍්‍රතිපත්ති සම්පාදනය සහ කි‍්‍රයාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකාව බිම් මට්ටමේ පියවරයන් කිහිපයක්ම ගෙන ඇති බව ද සඳහන් කළේය.

මේ අතර ශ‍්‍රී ලංකාව විසින් ගංගා වේලි පද්ධතියේ සහ වෙරළබඩ කළමනාකරණය පිළිබඳ මනා ප‍්‍රවේශයක් ගැනීමට සූදානම් බව පැවසූ ජනාධිපතිතුමා ඉන් අපේක්ෂා කරන්නේ සාගරය සහ වෙරළ සම්පත් එනම් ප්ලාස්ටික් සහ රසායන ද්‍රව්‍ය මගින් කෙරෙන සාගර දූෂණය වළක්වාලීම බව ද සඳහන් කළේය.

පරිසර අමාත්‍යවරයා වශයෙන් පොලිතින් තහනමට ගත් පියවර මෙන්ම තම මගපෙන්වීමෙන් වන ඝනත්වය ඉහළ නංවා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන වනරෝපා වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් දැක්වීය.

පරිසර අමාත්‍යවරයෙකු ලෙස මෙන්ම රාජ්‍ය නායකයෙකු ලෙස පරිසරය සුරැකීම වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන සහ ඒ පිළිබඳ ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසකට එළැඹි නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ දේශනය සමුළුවට සහභාගී වූ සියලුදෙනාගේ දැඩි අවධානයට ලක්ව තිබූ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පරිසර හිතකාමී සංවර්ධන වැඩපිළිවෙළ ඔවුන්ගේ ඇගැයීමට ලක් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 8 =