බිංගිරිය ආයෝජන කලාපයේ ආයෝජනයට 30ක් දැනටමත් ඉදිරිපත් වෙලා

(කොළඹ, ලංකාපුවත්) –මෙරට විශාලතම ආයෝජන කලාපය ලෙස ආරම්භ කළ බිංගිරිය ආයෝජන කලාපය සඳහා දැනටමත් ආයෝජකයන් තිහක් ඉදිරිපත්ව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14) පැවසීය.

අක්කර එක්දහස් දෙසීයක භූමියක් තුළ ඇති කරන මෙම ආයෝජන කලාපය තුළ රෙදිපිළි සම්බන්ධ ආයෝජකයෙක් විසින් දැනටමත් ‍ඩොලර් මිලියන සියයක ආයෝජනයක් සිදුකළ බව අගමැතිවරයා සඳහන් කළේය.

බිංගිරියේ ආරම්භ කරන ලද මෙම ආයෝජන කලාපයටත් වඩා විශාල ආයෝජන කලාපයක් මෙම මාසය අවසාන වීමට ‍පෙර හම්බන්තොටදී ආරම්භ කරන අතර එය මෙරට දෙවන පිරිපහදුව බවත් අගමැතිවරයා සඳහන් කළේය. එමෙන්ම සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ද එම කලාපය ආශ්‍රිතව ඇති කරන අතර වත්මන් රජයේ සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බවද අගමැතිවරයා පැවසීය.

හොරණ, මිල්ලනිය ප්‍රදේශයේ ද ආයෝජනයක් සිදුකිරීමට ත්‍රිකුණාමලය යෝජිත වෙළෙඳ කලාපය ඉදිරි මාස දෙක ඇතුළතදී ආරම්භ කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හම්බන්තොට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ආයෝජන කලාපය අක්කර හාරදහසක් වුවද සමස්ත ව්‍යාපෘතිය අවසන් වනවිට එය අක්කර 12000ක් දක්වා පුළුල් කරන බවද අගමැතිවරයා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සිය අමාත්‍යාංශය වන ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *