සංවේදී රජයක් විදියට රටේ අනාගතය සුබ කරන්න කැප වෙනවා – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – සංවේදී රජයක් ලෙස ජනතාවගේ සේම රටේ අනාගතයද සුබවාදී කරවීම සඳහා වත්මන් රජය කැපවීමෙන් ක්‍රියාකරමින් සිටින බවත් මින් ඉදිරියට වෘත්තීන් සම්බන්ධයෙන් කාන්තාවන්ට සීමාවන් පැනවීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (17) මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යලයීය ශ්‍රවණාගාරයේ පැවති කාන්තා කටයුතු අමාත්‍යාංශය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරිය සහ ඩේවිඩ් පීරිස් සමාගම එක්ව සංවිධානය කළ “කාර්මික පුහුණුව තුළින් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන” යටතේ පුහුණුව නිම කළ කාන්තාවන්ට සහතික පත් පිරිනැමීමේ උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට තිබුණත් අපි කාන්තාවන්ට සලකන්නෙ බොහෝ විට දෙවැනි පන්තියට දාලා. පිරිමි කරන දේවල් ඔවුන්ට කරන්න බෑ කියල අපි හිතනවා. මම ගෙවුණු වසර 30දි විවිධ අවස්ථාවල මේ ශ්‍රවණාගාරයට ඇවිල්ලා කාන්තාවන්ට විවිධ දේවල් බෙදල දීලා තියෙනවා. මහන මැෂින්, ගෘහ උපකරණ ඔවුන්ට බෙදලා දෙනවා. ඒකෙන් කියන්නේ තමුන් ඉන්න ඕනෙ කුස්සියේ කියනදේ තමයි. නමුත් අපි දන්නවා සමහර රටවල පොලිස්පතිනියන් පවා ඉන්නවා. ඒ නිසා ඉතාම පැහැදිලියි තවදුරටත් වෘත්තීන් සම්බන්ධයෙන් අපට කාන්තාවන්ට සීමාවන් පනවන්න හැකියාවක් නැති බව. දැන් ඔබ පුහුණුව ලබලා තියෙනවා. නමුත් ව්‍යාවසායකයෙක් වෙන්න තව දෙයක් අවශ්‍යයි. ඒ තමයි මුදල්. ඒ පියවර සම්පූර්ණ කරන්න තමයි අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රජය මඟින් පොලිය බහුතරයක් හෝ සම්පූර්ණයෙන්ම ගෙවන ණය ලබා දෙන්නෙ. රුපියල් ලක්ෂ 2 ඉඳලා ලක්ෂ 7,500 වෙනකල් මේ යටතේ ණය ලබා දෙනවා. ඒ වගේම මේ ලබා ගන්නා ණය මුදල යොදවන්නේ කාන්තාවක් ව්‍යවසායකත්වය දරණ ව්‍යාපාරයක් වෙනුවෙන් නම් අදාළ පොලී සහනයට තවත් සියයට 10ක පොලී සහනාධාරයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.

සාම්ප්‍රදායික බැංකු බොහෝ විට උත්සහ දරන්නේ ණය නොදෙන තැනට කටයුතු කරන්නයි. එහෙමත් නැත්නම් තමන්ගේ සාම්ප්‍රදායික ගනුදෙනුකරුවන්ට ණය දෙන්නයි. ඒ නිසාම අපි බැංකුවලට උපදෙස් දීලා තියෙනවා දෙන ණය මුදල්වලින් සියයට 60ක්වත් අලුත් ව්‍යවසායකන්ට දෙන්න කියල. ඒ වගේම මේ ණය ගැනීමේදී කිසියම් ගැටලුවක් තියෙනවා නම් 1925 ඍජු දුරකතන අංකයට කතා කරල අපට කියන්න. අපි ඒ ගැන සොයා බලන්නම්. ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය අපි ලබන සෙනසුරාදා වැලිගමදී ආරම්භ කරනවා. ණය ලබා දෙන්න අදාළ සියලුම රාජ්‍ය ආයතනවල නියෝජිතයන් එතනට එනවා. මේ වැඩසටහන අපි ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක කරනවා. ව්‍යවසායකත්ව අදහස් තියෙන සියලු දෙනාටම පුළුවන් එතනදි තමන්ගේ අවශ්‍යතාවට අනුව ණය මුදල් ලබා ගන්න අදාළ කටයුතු සිදු කරන්න.

අපි රජයක් විදියට ඔබට නිකං මොකුත්ම දෙන්නෙ නෑ. අපි දෙන්නේ නැඟිටින්නට අවශ්‍ය අතහිත විතරයි. කෑම වේලක් දෙනවට වඩා කෙනකුට මාළුවෙක් අල්ල ගන්න බිලී පිත්තක් දෙන්න කියල කියමනක් තියෙනවා. සංවේදී රජයක් විදියට අපි ක්‍රියාත්මක වෙන්නෙත් ඒ ආකාරයටයි. එදා ‘සුබ අනාගතය’ කියන වචනය අහන්න ලැබුණා. අද තමයි සැබෑ ලෙසම ජනතාවට ‘සුබ අනාගතය’ උදා වෙලා තියෙන්නෙ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *