අද අපි ජනතාවට සවන් දියයුතුයි – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) – “අපි 2015 දී මැතිවරණයට එද්දි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පොරොන්දු වුණා. ජනතාව අපිව විශ්වාස කළා. අද අපි ඒ ජනතාවට සවන් දියයුතුයි. අපේ පොරොන්දුව ඉටුකල යුතුයි.“ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

“ඕනෑම රටකට නරක කාලයක් උදා වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවත් නරක කාලයක් පසුකළා. අපි සමස්ත ශ්‍රී ලංකාවාසීන්ම එකට එකතුවී මේ රටේ සැබෑ නිදහසක්, සැබෑ ආර්ථික නිදහසක් උදාකරලීම වෙනුවෙන් වැඩකල යුතු කාලය දැන් එළඹිලා. දැන් අපි පසුගිය දේ, අපට අහිමිවූ දේ, කිරීමට නොහැකි වූ දේ අමතක කරලා, දැන් අපි රට ගැන සිතිය යුතුයි. මේ වනවිට අපේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් රටේ අනාගතය, ජනතාවගේ සුභසිද්ධීය වෙනුවෙන් නව දේශපාලන සංස්කෘතියක් හදුන්වාදී තිබෙනවා ජනතාවගේත්, රටේත් සුබසිද්ධිය වෙනුවෙන්” යැයි අමාත්‍යවරයා සදහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පළකලේ, පසුගිය දින යාපනය යූනියන් පාසලේ නව ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. 2017 වර්ෂයේදී මෙම ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබන ලද අතර, ඒ සඳහා මිලියන 55ක් වැය වන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානාක මහතා,

“මම 2016 වසරේ අවසන් වරට මෙම පාසලට එද්දි මේ පාසල තිබුණ තත්ත්වයෙන්, අද වෙනවිට විශාල දියුණූවක් ලබලා තිබෙනවා. දිවයිනේ ප්‍රධාන පාසල් වල තිබෙන තත්ත්වයට වඩා මෙම පාසලේ ගුණාත්මකභාවය වඩාත් දියුණු වී ඇති බවට මම කියන්න කැමතියි. අපට දරුවෙකුට ලබාදිය හැකි වඩාත් වටිනාම දේ වන්නේ අධ්‍යාපනයයි. කිසිම කෙනෙක්ට සොරකම්කළ නොහැකි, බලෙන් ගන්න බැරි එකම දේ අධ්‍යාපනයයි. මේ පාසලට වසර 203 ක ඉතිහාසයක් තිබෙනවා. මෙම පාසල දිවයිනේ විශිෂ්ටම පාසල බවට පත්කිරීමට කටයුතු කළයුතුයි.

මේ රටට මේ වනවිට සාමය උදාවෙලා තිබෙනවා. සමහර විට ඔබ හිතනවා ඇති සාමයක් නැහැ කියලා. ජනතාවගේ ජිවන මට්ටම වගේම මානසික තත්ත්වයත් වඩාත් යහපත් වෙලා තිබෙනවා. සාමාකාමී බවට පත්වෙලා තිබෙනවා. මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ, ජනතාවගේ අධ්‍යාපනික මට්ටම දියුණු වීමයි. මේක තමයි වෙනස. අපේ රට නිදහස ලබා වසර 71 ක් වුවත්, මේ දක්වා මේ රටට සැබෑ ආර්ථික නිදහසක් ලැබිලා නැහැ. ඒකට ප්‍රධානම හේතුව නම් අපේ අධ්‍යාපන ක්‍රමයේ අර්ථාන්විත වෙනසක් ඇති නොවීමයි. අපගේ අසල්වැසි රටවල් වන සිංගප්පූරුව, තායිලන්තය, මලයාසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් දෙස බලනවිට පෙනී යන්නේ, එම රටවල වඩාත් වේගවත්මෙන්ම අර්ථවත් ආර්ථික දියුණුවක් ඇතිවී ඇති බවයි.

අපි 2015 දී මැතිවරණයට එද්දි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පොරොන්දු වුණා. ජනතාව අපිව විශ්වාස කළා. අද අපි ඒ ජනතාවට සවන් දියයුතුයි. අපේ පොරොන්දුව ඉටුකල යුතුයි. මම සතුටු වෙනවා දෙමල ජාතික සංධානයත් අපේ මතයට එකගවීම පිළිබදව. අපිට දේශපාලඥයින් අවශ්‍යයි. නමුත් සැබෑ දේශපාලඥයින් සිතිය යුත්තේ රටේ අනාගතය ගැන මිසක්, ඉදිරි මැතිවරණයක් ගැන නොවෙයි. සැබෑ දේශපාලඥයෙක්ගේ වෙනස මේකයි.

මේ රටේ මෙන්ම ආර්ථිකයේ සැබෑ වෙනසක්, රැඩිකල් වෙනසක් ඇතිකළ යුතු කාලය දැන් එළඹිලා. නැවුම් ආකාරයෙන් සිතිය යුතු කාලය දැන් එළඹිලා. ශක්තිමත්ව සිතිය යුතු කාලය එළඹිලා. අපිට දැන් අවස්ථාවක් උදා වෙලා තිබෙන්නේ . අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. මේ රටේ ජීවත්වන දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සෑම ජාතියකටම, සෑම ආගමක් අදහන කෙනෙකුටම මේක මගේ රට යන හැගීමෙන් කටයුතු කළ හැකි තත්ත්වයක් උදාකළ යුතුයි.

මේ ප්‍රදේශයේ පවතින විදුලි ගැටළු විසදාදීමටත්, ජනතාවගේ විදුලි අවශ්‍යතා සියල්ල හැකි ඉක්මණින් සපුරාලීමට කටයුතු කරන්න මම පොරොන්දු වෙනවා” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *