බේරුවල ඉරිදා සහ පොහොය දිනවල ටියුෂන් තහනම්

(කොළඹ, ලංකාපුවත්) –ඉරිදා දිනවල සහ පොහොය දිනවලදී බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඒකමතිකව තීරණය කරයි.

බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා (18) මෙම කමිටු රැස්වීම පැවැත්විනි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ ඉරිදා දිනවල සහ පොහොය දිනවල පෞද්ගලික පන්ති පැවැත්වීම තුලින් දහම් පාසල් අධ්‍යාපනය බිදවැටීමේ අවධානමක් පවතින බව මහා සංඝරත්නය පෙන්වා දුන් බවයි. මහා සංඝරත්නයේ ඉල්ලීම මත පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කරන බවත්, එම තහනම නිසි පරිදි සිදු වෙනවා දැයි සොයාබැලීම පොලීසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වගකීම බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම කමිටු රැස්වීමේ දී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් බේරුවල ප්‍රාදේශිය සභාවට ලබාදෙන බවුසරය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ප්‍රාදේශීය සභාවට බාරදීම ද සිදු විය. සමස්ත ලංකා ග්‍රාමසේවා කොට්ඨාස තරගාවලියේ ජය සංකේත ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කරන ලදි.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඉෂ්ඨිකාර් ජමීල්, ප්‍රසන්න සංජීව, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින්, බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් චතුර මල්රාඡ් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 4 =