විදුලි කප්පාදුවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –”මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විදුලි ඉල්ලුමේ පැහැදිළි වර්ධනයක් සිදුවී තිබෙනවා. ඒ වගේම සැම වර්ෂයකම ජනවාරි- අප්‍රේල් මාස වලදී විදුලි ඉල්ලුම ඉහල යාමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරනවා. නමුත් මේ තත්ත්වයන් මත විදුලි ක්පපාදුවකට යන්න අපි අදහස් කරලා නැහැ. නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ හදිසි බිදවැටීම හේතුවෙන් පසුගිය දෙදින තුළ දිවයිනේ යම් යම් ප්‍රදේශ වලින් විදුලිය බිදැටීම් වාර්තා වුණා. නමුත් මේ වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කරලා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය විසින් කාලසටහනක් අනුව සිදුකරනු ලබන විදුලි කප්පාදුවක් පිළිබදව මේ දිනවල විවිධ සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්තීන් ජනතාව අතරට යමින් පවතිනවා. නමුත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ, එවැනි කිසිදු විදුලිය සිදලීමේ නිවේදනයක් අමාත්‍යාංශය මගින් නිකුත්කර නොමැති බවයි” යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පලකළේ, ඊයේ (20) පස්වරුවේ විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජයවර්ධන මහතා,

“මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම සැලකිය යුතු මට්ටමකින් පහල බැස තිබෙනවා. ඒ අනුව මේ වනවිට පවතින ජල මට්ටම්. කාසල්රි – 9%, මාඋස්සාකැලේ- 26.4%, කොල්මලේ – 34.1%, වික්ටෝරියා – 37.3%, රන්දෙනිගල – 87.8%, සමනලවැව – 18.5% වශයෙන් දක්වන්න පුළුවන්.

මේ වනවිට බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවෙමින් පවතිනවා. ඒ අනුව මේ වනවිට සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් සුර්ය විදුලිබල උත්පාදන ක්‍රියාවලිය හදුන්වාදී තිබෙනවා. මේ වනවිට එමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 150ක් වැනි ප්‍රමාණයක දායකත්වයක් ලැබෙනවා. සූර්ය විදුලිබල උත්පාදනය ජනතාව අතරට ගෙනයන්න, ජනතාව ඒ වෙනුවෙන් උනන්දු කරවන්න මේ වනවිට අමාත්‍යාංශ මට්ටමෙන් පියවර ගෙන තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ශ්‍රී ලාංකික බැංකු පද්ධතිය මගින් 8% සහන පොලී අනුපාතයක් මත සූර්ය විදුලිබල කට්ටල මිලදී ගැනීමට ණය පහසුකම් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම අතිරික්ත නිෂ්පාදිතය ලංකා විදුලිබල මණ්ඩලයට මිලදී ගැනීමටත් අපි සැලසුම් සකස් කර තිබෙනවා. මෙවැනි ක්‍රියාමාර්ග තුළින් සූර්ය විදුලිබල නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්න අපි කටයුතු කරනවා.

ලක්විජය ගල් අගුරු බලාගාරය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට සැලකියයුතු දායකත්වයක් ලබාදිමට සමත් බලාගාරයක් මේ දක්වා ඉදිකරලා නැහැ. ඉදිකිරීමට යෝජිත සහ වැඩ ආරම්භ කළ බලාගාර පවා යම් යම් හේතූන් මත ඉදිකිරීම් ප්‍රමාද වෙලා තිබෙනවා. දෛනිකව ඉහල යන විදුලි ඉල්ලුම සමස්තයක් වශයෙන් ගත්කල වාර්ශිකව 10% ක පමණ ප්‍රමාණයකින් ඉහල යනවා. මේ මට්ටම ඉහළ පහළ යා හැකියි. මෙම තත්ත්වයන් හමුවේ අඛණ්ඩ විදුලිබල සැපයුමකට අභියෝගයක් තිබෙනවා. නමුත් මෙම අභියෝගය හමුවේ එයට විසදුමක් වශයෙන් විදුලි පාරිභෝගික ජනතාවට අපහසුතාවක් ඇතිවන පරිද්දෙන් විදුලි කප්පාදුවකට යන්න අප අමාත්‍යාංශ මට්ටමෙන් කිසිදු තීරණයක් ගෙන නැහැ.

පවතින අභියෝග ජයගැනීම සදහා කෙටිකාලීන විසදුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර ඇති තොග පාරිභෝගිකයන්ට තමන්ට අවශ්‍ය විදුලිය කෙටි කාල සීමාවකට තමන් විසින්ම නිපදවා ගැනීම දිරිගැන්වීමට යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට කටයුතු සකස් කරනවා. මේ සදහා ක්‍රියාකාරි ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඉල්ලුම් පාර්ශ්වීය ජාතික වැඩසටහන යටතේ සැලසුම් සකස් කරමින් පවතිනවා. පවතින තත්ත්වයන් හමුවේ විදුලි පරිභෝජනය අරපිරිමැස්මෙන් සිදුකරන ලෙසද අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *