ශ්‍රී ලංකාවේ යෝජනාව ඒකමතිකව සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් වන නව යෝජනාව ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ඊයේ(21) ඒකමතිකව සම්මත විය.

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් තහවුරු කිරීමෙහිලා ගෙන තිබෙන ක්‍රියාමාර්ග අන්තර්ජාතික ප්‍රජාවගේ දැඩි ප්‍රසාදයට ලක්ව තිබෙන අතර බ්‍රිතාන්‍යය ඇතුළුව රටවල් පහක් විසින් ජගත් මානව හමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන ලද යෝජනාව මෙලෙස සම්මත වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අංක 40/1 යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් 5ක කණ්ඩායමක් විසින් වන අතර කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ද එම කණ්ඩායමට අයත් වෙයි. බ්‍රිතාන්‍ය නියෝජිතයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර 2015 වසරේ දී ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවේ දිඟුවක් වශයෙන් මෙය ඉදිරිපත් කර තිබෙන බව ද එම අමාත්‍යාංශය කියයි.

ඊට අමතරව මෙම යෝජනාව මෙරට සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් 30/01 යෝජනාවට අදාළ කරුණු තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා වසර දෙකක කාලයක් කාලය දීර්ඝකර ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබුණි.

රජය ගෙන තිබෙන සාධණීය ක්‍රියාමාර්ග පැසසුමට ලක්කෙරෙන අතරම මානව හිමිකම් හා වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධව ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය නිර්දේශ ඊට ඇතුළත් වෙයි. මෙහි දී පිළිතුරු දේශනය කරමින් විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා පෙන්වා දී තිබෙන්නේ මෙම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීම තුළින් ශ්‍රී ලංකා රජය පෙන්නුම් කරන්නේ සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධව ඇති දේශපාලනික කැපවීම බවයි.

සියලු කටයුතු සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

2015 ඔක්තෝබර් හා 2017 මාර්තු මාසයේ ඉදිරිපත් කළ යෝජනා මඟින් ශ්‍රී ලංකාව එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමට දිරිගන්වන බවට මෙම යෝජනාවේ සඳහන්කර තිබෙන අතර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පිහිටුවීම, හමුදාව විසින් උතුරේ අත්පත් කරගෙන තිබූ සිවිල් ජනතාවගේ ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කිරීම ආදී කරුණු එම යෝජනාවෙන් පැසසුමට ලක්කර ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ යන මහත්වරුන් මේ සැසිවරාය සඳහා සහභාගි වූ අතර එම නියෝජිත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් මේ වනවිට ලබාතිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වාදෙයි.

පසුගිය පෙබරවාරි මාසයේ 25 දා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය‍ අද (22) අවසන් වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *