සම්මත වූ පනත් ගැන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කියයි

(කොළඹ, ලංකාපුවත්) –2018 වසර තුළ නව පනත් පහක් හා මෙම වසරේ ගත වු මාස තුන තුළ නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට හැකි වු බවත් තවත් නව පනත් කෙටුම්පත් 19 ක් එම වසර තුළ අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට යෝජනා කර ඇතැයි ද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

ඒ යටතේ 2018 වසර තුළ අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත, භාර ආඥා (සංශෝධන ) පනත, සාපරාධී කරුණු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන ) පනත, සංස්ථාගත නීති අධ්‍යාපන සභා ආඥා පනතේ 7 වන වගන්තිය යටතේ සංස්ථාගත නීති අධ්‍යයන සභාව විසින් එහි 2 වන රීතිය සංශෝධනය කිරීම, අපරාධයක වගකීම දැරීම සඳහා වු අවම වයස පිළිබදව ප්‍රතිපාදන සැළසීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන ) පනත හා අපරාධ නඩු විධි විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් සම්මත කර ගැනීමට කටයුතු යොදා ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම වසරේ ගත වු මාස කිහිපය තුළ 1941 අංක 39 දරන ණය සහනදායක පනත් කෙටුම්පත,හා තැනැත්තෙකුගේ මරණය සදහා අලාභ අය කර ගැනීම සදහා වන පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව ළමා (අධිකරණ ආරක්ෂාව) පිළිබද පනත් කෙටුම්පත, අසභ්‍ය ප්‍රකාශන පනත් කෙටුම්පත, නොතාරිස් (සංශෝධන ) පනත් කෙටුම්පත, මුස්ලිම් විවාහ සහ දික්කසාද (සංශෝධන ) පනත් කෙටුම්පත, ඇටොර්නි බලපත්‍ර (සංශෝධන ) පනත් කෙටුම්පත, අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ සංශෝධන ) පනත් කෙටුම්පත (නීතිඥවරයෙකු වෙත ප්‍රවේශ වීම ) ,සිවිල් නඩු විධාන සංග්‍රහයට කරනු ලබන සංශෝධනය (118 119 වන වගන්ති) දිවුරුම් දුන් භාෂා පරිවර්තකවරුන් පත් කිරීම,

බෙදුම් නඩු නීතිය සම්බන්ධයෙන් යෝජිත සංශෝධන 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත (45 වන වගන්තියට කරනු ලබන සංශෝධනය) හා ගර්භනී භාවය අවසන් කර ගැනීමේ අවසර ලත් ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට සිදු කරන සංශෝධන පනත් සංශෝධනය කිරීම සදහා යෝජිතව තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයට සිදු කිරීමට නියමිත සංශෝධන (වෛවාහක ස්ත්‍රි දූෂණය පුරුෂයන් අතර දැඩි අශෝභන ලිංගික ක්‍රියා (365 අ) ,1941 අංක 39 දරන ණය සහනදායක පනත් කෙටුම්පත, අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන පනත් කෙටුම්පත (මහෙස්ත්‍රාත්වරුන් විසින් පොලිස් ස්ථාන අධික්ෂණය කිරීම සදහා බලය පැවරීම ) ,බන්ධනාගාර පනත් කෙටුම්පත, තැනැත්තෙකුගේ මරණය සදහා අලාභ අය කර ගැනීම අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සදහා සංශෝධන, (දිනපතා නඩු විභාග කිරීම සහ පුර්ව නඩු විභාග කාර්ය පටිපාටිය )අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සදහා සංශෝධන (හදුනාගත් නිශ්චිත අවස්ථාවන් යටතේ සැකකරුවෙකු / චුදිතයෙකු අධිකරණයට පැමිණිමේ අවශ්‍යතාව ඉවත් කිරීම, 1975 අංක 01 දරන වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියට කරන සංශෝධන හා පුද්ගල නාශක බ්ම් බෝම්බ භාවිතය තොග රුස් කිරීම නිෂ්පාදනය කිරීම සහ ස්වභාවයෙන්ම ඇති වන විනාශය පිළිබදව වන සම්මුතියට (ඔටාවා සම්මුතියට) අදාළ නීති කෙටුම්පත යන පනත් කෙටුම්පත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට යොජිතව ඇතැයි අමාත්‍යාංශය සදහන් කරයි.

මීට අමතරව කලාප, දිස්ත්‍රික්ක ,කොට්ඨාශ වෙනුවට පරිපාලන දිස්ත්‍රික්කය සඳහා සාම විනිසුරුවරුන් පත් කිරීමට හා සාම විනිසුරුවරුන් සදහා ආචාර ධර්ම සංග්‍රහයක් සකස් කිරිමට අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට අදාළ පනත් කෙටුම්පත ද මේ වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *