මානව හිමිකම් රැකීමට රජයේ කැපවීම අගයනවා

(කොළඹ, ලංකාපුවත්) –මානව හිමිකම් සුරක්ෂිත කිරීමට වත්මන් ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මණ්ඩල යෝජනාව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අවධානය යෙමුකර තිබෙන මහ කොමසාරිස්වරිය ඒ සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට ද එකඟ වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 40වැනි සැසිවාරයට සහභාගීවීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගිය විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම හමුවූ අවස්ථාවේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය මේ බව ප්‍රකාශකර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ද මෙහිදී හමුවූ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එහිදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරිය මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ප්‍රසාදය පළ කළ බව ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කර තිබෙන අතර, එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් සංහිඳියාව, මානව හිමිකම් සහ වගවීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

මෙම හමුවට එක්වූ ජිනීවා නුවර ජගත් සංවිධාන කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම් මයිකල් මොලර් මහතා සංහිඳියාව, සාමය ගොඩනැගීම සහ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙන අතර, මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම විෂයෙහි තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීම සඳහා 2021 මාර්තු දක්වා වසර දෙකක දිගුවක් ලබාදෙන 40/L.1 යෝජනා සම්මතය, ශ්‍රී ලංකාවේ දේශපාලනික කැපවීමත් 2015 වසරේ සිට රජය දැනටමත් ගෙන ඇති ප්‍රගතිශීලී පියවරත් පිළිගැනීමේ සලකුණක් වශයෙන් සළකන බවද පෙන්වා දී ඇත.

මෙම කවුන්සිලයේ වැඩකටයුතු කෙරෙහි ශ්‍රී ලංකාව සතු විවෘත සහ ඵලදායී ප්‍රවේශය ඉතා හොඳින් හඳුනාගෙන ඇති අතර ප්‍රධාන මානව හිමිකම් ගිවිසුම් සංවිධාන හතක් සහ විශ්ව කාලාන්තර සමාලෝචනය සමඟ සහ සම්බන්ධයෙන් කටයුතු කොට ඇති බවද මානව හිමිකම් විශේෂ නියෝජිතයන් සහ ස්වාධීන විශේෂඥයන් කළ ශ්‍රී ලංකා සංචාර අටකට ද පහසුකම් සපයා දී තිබෙන බවද හෙතෙම සඳහන්කර ඇත.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් වන නව යෝජනාව ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ඒකමතිකව සම්මත වූ අතර ශ්‍රී ලංකා රජය මානව හිමිකම් තහවුරු කිරීමෙහිලා ගෙන තිබෙන ක්‍රියාමාර්ග අන්තර්ජාතික ප්‍රජාවගේ දැඩි ප්‍රසායට ලක්ව තිබේ. ඒ අනුව අංක 40/1 යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් 5ක කණ්ඩායමක් වන අතර කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ද එම කණ්ඩායමට අයත් විය. බ්‍රිතාන්‍ය නියෝජිතයා අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර 2015 වසරේ දී ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවේ දිඟුවක් වශයෙන් මෙය ඉදිරිපත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *