වැඩි මිලට ගත් පිළිකා එන්නත් තොගයක් තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් බහුජාතික සමාගමකින් මිල දී ගන්නා පියයුරු පිළිකා එන්නත් මිලදී ගැනීම නතර කරන ලෙසට තමන් උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වන ඔසුසල මාතලේ නගරයේ දී ඊයේ (25) විවෘත කිරීමෙන් පසු පැවැති ජනහමුව අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“මේ වනවිට නව පියයුරු පිළිකා ඖෂධයක් වෙළෙදපොලට ඉදිරිපත් කර තිබෙනවා. එහි මිල රුපියල් ලක්ෂ පහහමාරක්. මෙම එන්නත පිළිබදව මට සැකයක් ආවා. ඉන් පසු මම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට කථා කළා. සභාපතිවරයා ප්‍රකාශ කළා රුපියල් දෙලක්ෂ අසූපන්දහසක මුදලකට පියයුරු පිළිකා එන්නත් ලබාදුන් බහුජාතික සමාගම විසින් ම මෙම එන්නත ද නිෂ්පාදනය කර වෙළෙදපොලට මුදා හැර ඇති බවයි.

මම සොයා බලන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එම එන්නත් 400 ක් මිලදී අරගෙන. මම සභාපතිවරයාට නියෝග කළා පිළිකා ඖෂධ මිල අඩු කිරීමේ තීරණයක සිටිය දී රුපියල් ලක්ෂ පහහමාරකට එන්නත් මිල දී ගත්තේ ඇයි ද කියලා. ඒ අනුව මම නියෝග කළා එම එන්නත් මිල දී ගැනීම නතර කරන්න කියලා. ටෙන්ඩර් 02 ක් ඉදිරිපත් කර තමයි මෙම එන්නත් 400 මිල දී අරගෙන තිබෙන්නේ.

එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වූ පාඩුව මිලියන 50 ක් පමණ වෙනවා මෙම එන්නතට සමාන තවත් එන්නත් ඉතා අඩු මුදලට වෙළෙදපොලේ තිබෙනවා.”

“මම ඉදිරියේ දී ඖෂධ නාමයෙන් පමණක් ඖෂධ ලිවීම අනිවාර්ය කිරීමේ නියෝගය ලබාදෙනවා. ඒ සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග සාකච්ඡා කර තිබෙනවා. ඖෂධ නාමයෙන් ඖෂධ ලිවීම විදේශීය රටවල සිදු කිරීමට හැකි නම් ලංකාවට ඇයි බැරි. මෙවැනි හොරකම් කමයි ඖෂධ වෙළෙදපොලේ තිබෙන්නේ. “ යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *