ශ‍්‍රී ලාංකීය භික්ෂු සමාජය පිළිබඳ වැරදි ආකල්පයක් ඇති නොවිය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – තරුණ භික්ෂුන්වහන්සේලා වැඩි පිරිසක් රට තුළ බෞද්ධාගමික පරිසරයක් සහ යහපත් සමාජයක් ගොඩනැඟීමේ කාර්යයේ නිරතව සිටිය දී ඉතා සුළු පිරිසක් සිදුකරන කි‍්‍රයාවන් හේතුවෙන් ඇතැම් අවස්ථාවල සමස්ථ පූජනීය මහා සංඝරත්නයම විවේචනයට ලක්වන බව ජනාධිපතිතුමා පවසයි.

ඇතැම් භික්ෂුන්වහන්සේලාගේ අයහපත් හැසිරීම් අන්තර්ජාලය ඔස්සේ පළවීම හේතුවෙන් ශ‍්‍රී ලාංකීය භික්ෂු සමාජය පිළිබඳ වැරදි ආකල්පයක් ලෝකයේ ප‍්‍රචලිත විය හැකි බවත් මෙම තත්ත්වයන් පිළිබඳ තරුණ භික්ෂුන් වහන්සේ නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ මහර, නාරංවල ශ‍්‍රී සුමනකීර්ති පිරිවෙනෙහි අභිනව දාන ශාලාව සඟ සතුකොට පූජා කිරීමේ සහ නව රැස්වීම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (26) පස්වරුවේ එක්වෙමිනි.

විහාරාධිපති පූජ්‍ය ඌරුවෙල විනීත නායක ස්වාමින්වහන්සේගේ ආරාධනයෙන් ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව දාන ශාලාව සඟ සතු කොට පූජා කරන ලදී.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින්වහන්සේ, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය පාඨලී චම්පික රණවක, පා.ම ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *