රටේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් කරන්නේ නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ කළුතර, මීගහතැන්න ප්‍රදේශයේ පැවැති උත්සවයකට ඊයේ(27) පෙරවරුවේ එක්වෙමිනි.

උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත නැවත නිදහස් කිරීම සිදුවී නොමැති බවටත්, ඒ සඳහා කොමිසමක් පත්කළ යුතු බවටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කර ඇති යෝජනාව රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබා දී ඇති වැරදි තොරතුරු පදනම් කරගෙන සිදුකරන ලද්දක් බව මෙහි දී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එලෙස කොමිෂන් සභාවක් පත්කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සඳහන් කළේය. මානව හිමිකම් කොමිසම නිකුත් කරන ප්‍රකාශවල ඇති හරි දේ පිළිගත්ත ද, එහි තිබෙන වැරදි කරුණු පිළිගැනීමට රජය කිසිසේත්

සුදානම් නොමැති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මේ අතර මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන වාර්තාවේ සම වගකීම් දරමින් සහ එය වසර දෙකකින් පසු යළි සලකා බැලීමට එකඟවෙමින් පසුගිය පෙබරවාරි 25 වනදා ජිනිවාහි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා මානව හිමිකම් කොමිසම සමග සිදුකරන ලද අත්සන් තැබීම තමා කිසිසේත්

පිළිනොගන්නා අතර එය දැඩිව ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

එම අත්සන් තැබීම සිදුව ඇත්තේ තම අනුදැනුමකින් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ එහි ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව බවත් අපේ රටේම පාර්ශ්වවල වැරදි තීන්දු තීරණ හේතුවෙන් සිදුවූ එම සිදුවීම පිළිබඳ තම සම්පූර්ණ විරෝධය පළ කරන බවත් ජනාධිපතිතුමා පැවසීය. එමෙන් ම එම සිදුවීම තමා දකින්නේ මේ රටේ ත්‍රිවිධ හමුදාව රජය මෙන් ම ජනතාව පාවාදිමක් ලෙස බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ විදේශ ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර සබඳතා සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට මිස ඉන් පහළ අයට නොවන බව ද කියා සිටියේය.

ජීනිවා කොමිසමට යැවීමට නියමිතව තිබූ නියෝජිත පිරිස ද පත්කර තිබුණේ තමා සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්වා බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිතුමා පෙබරවාරි 25වන දා සිදුවීමෙන් පසු තමා විසින් එම නියෝජිත පිරිස වෙනස් කිරීමට කටයුතු කළ බවත්, විදේශ අමාත්‍යවරයා පසුගියදා එම කොමිසම හමුවේ කළ කතාව රටට ගැළපෙන ආකාරයෙන් සිදු කළ යුතු අන්දම පිළිබඳව ද තමා උපදෙස් ලබාදුන් බවත් ප්‍රකාශ කළේය.

එදා අප රටට එල්ල වූ අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ අද ද වෙනස් ක්‍රමෝපායන් මගින් රටට එල්ලවීමටපටන්ගෙන තිබෙන බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිතුමා අපට යහපත් විදේශ සබඳතා තිබිය

යුතු නමුත් රටේ දේශපාලනයට සහ රාජ්‍ය පාලනයට එවා මැදිහත් නොවිය යුතු සේම, අද මෙන් ම හෙට දවසේ ද කිසිදු අවස්ථාවක විදේශ බලවේගවලට මේ රට පාලනය කිරීමට ඉඩ නොතබන බව අවධාරණය කළේය.

කළුතර, මීගහතැන්න නව පොලිස් ඒකකය ජනතා අයිතියට පවරාදීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි. සමරු ඵලකය නිරාවරණය කර නව පොලිස් ඒකකය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, පාලිත තෙවරප්පෙරුම, ගාමිණි තිලකසිරි, රංජිත් සෝමවංශ යන මහජන නියෝජිතයන් සහ කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිළධාරිහු ද පොලිස්පති පූජිත ජයසූන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *