ඩුබායිවලින් පිටුවහල් කළ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට – සේවයෙනුත් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායි සිට මෙරටට පිටුවහල් කරනු ලැබූ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාකදුරේ මදූෂ් සමග පසුගියදා ඩුබායි හිදී අත්අඩංගුවට ගැණුනු පිරිස අතර සිටි නදීමාල් පෙරේරා සහ ලලිත් කුමාර මහතා එරටින් පිටුවහල් කර තිබූ අතර ඔවුන් ඊයේ (27) දිවයිනට පැමිණියේය.

දිවයිනට පැමිණි මොවුන්ගෙන් ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒකකය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරිම් සිදු කළ අතර එහිදී නදීමාල් පෙරේරා නිදහස් කිරිමට කටයුතු කරනු ලැබුවේය.

කෙසේවෙතත් පැය 14ක පමණ ප්‍රශ්න කිරීමකින් අනතුරුව බන්ධනාගාර නියාමක ලලිත් කුමාර මහතා ඊයේ රාත්‍රී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අත්අංඩගුවට ගත් සැකකරු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවය.

මේ අතර අදාල බන්ධනාගාර නියාමකවරයා සේවයෙන් පහ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සඳහන් කළේ සේවය හැරගියා සේ සළකා අදාල බන්ධනාගාර නියාමකවරයා සේවයෙන් පහකිරීමට කටයුතු කර ඇති බවය.

කළුතර බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ මෙම බන්ධනාගාර නියාමකවරයා නොදන්වා විදෙස් ගතවි ඇති බැවින් බන්ධනාගාර නීතියට අනුව ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇත.

ඊට අමතරව අදාල ඔහු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *