බෞද්ධ පුණර්ජීවයක් ඇති කිරීමට රජය අසීමිත මුදලක් ලබා දී තිබෙනවා

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුල බෞද්ධ පුණර්ජීවයක් ඇති කිරීමට වර්තමාන රජය විසින් අසීමිත මුදලක් ලබා දී තිබෙන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පලකලේ කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම කපුරැක්ක පුරාණ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය බුදු සසුනට පූජාකිරීමේ පුණ්‍යමහෝත්සවයේ ප්‍රධාන ගිහි ආරාධිත අමුත්තා ලෙස පසුගියදා එක් වෙමිනි.

ඇමතිවරා එහිදී මෙසේ ද කියා සිටියේ ය.

“මාවනැල්ල මැතිවරණ කොට්ඨාශයේ වෙහෙර විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන වැඩිදියුණුවට විශාල වශයෙන් ප්‍රතිපාදන වත්මන් රජය යටතේ ලබාදී තිඛෙනවා. හෙම්මාතගම කලාපයේ පිහිටි ඓතිහාසික වටිනාකමක් ඇති කපුරැක්ක පුරාණ විහාරස්ථානය පසුගිය කාලය තුල අපහට මහත් ශක්තියක් ලබාදුන්නා. ජනතාවට දහම් දැනුම, පිරිවෙන් අධ්‍යාපනය ලබාදෙමින් වාර්ෂිකය පෙරහැර මංගල්‍යයක් පවත්වමින් සිදුකරනු ලබන ආගමික, ශාසනික, ජාතික සේවාව අගය කල යුතු වෙනවා. ආමිස පූජාව මෙන්ම ප්‍රතිපත්ති පූජාවටත් මුල් තැන දෙමින්, විහාරස්ථානය ප්‍රදේශයේ ජනතාවට සිදුකරන සේවය ඉමහත්. මෙම ආදර්ශමත් වැඩපිලිවෙල සමස්ථ දිවයින පුරාම ක්‍රියාත්මක කිරීම තුලින් රටතුල නව වෙනසක් ඇති වෙනවා. වෙනස් වීමට අපි බිය වියයුතු නැහැ. අපේකම අපේ සංස්කෘතිය ආරක්ෂාකරමින් ඒ වෙනස ක්‍රියාත්මක කල යුතුයි. එදා 1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා බය නැතුව ඒ වෙනස ඇතිකලා. රට සංවර්ධනය කලා. රට ඉදිරියට ගෙනාවා. වර්තමාන රජය ජනප්‍රිය නැති තීරණ අරගෙන අභියෝග මැද රට ඉදිරියට ගෙන යෑමට කටයුතු කරනවා. එහිදී රටේ ආගමික පුණරුදයක් ඇති කිරීමටත් විශාල ප්‍රතිපාදන වෙන්කර දී තිඛෙනවා. ජාතික වෙසක් උළෙල කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියළු පහසුකම් ලබාදුන්නා. පිරිවෙන් අධ්‍යාපනය වැඩිදියුණුවට විශාල දායකත්වයක් ලබා දීමට කටයුතු කලා. කෑගල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 76ක සංවර්ධන අරමුදල් සඳහා ප්‍රතිපාදන ලබාදුන්නා. ගරු අග්‍රාමාත්‍යගේ උපදෙස් මත මුළු රටේම විහාරස්ථාන දහසකට රු.ලක්ෂ 05 බැගින් මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිඛෙනවා. එමෙන්ම ‘සසුනෝදය‘ සහ ‘සසුනට අරුණ ජාතික‘ වැඩසටහන් මඟින් ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට රජය දායකත්වය ලබා දෙනවා. සෑම සිද්ධස්ථානයක්කම ප්‍රවේශ මාර්ග වැඩිදියුණු කිරීමට අවශ්‍ය වැඩ පිලිවෙල ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී මේ වැඩසටහන තවත් ශක්තිමත් කරමින් දීප ව්‍යාප්තව සාර්ථක කිරීමට රජයක් ලෙස වගකීමෙන් කටයුතු කරනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × two =