මත් නිවාරණයට අවශ්‍ය ප්‍රතිපාදන දෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –රටේ අනාගත තරුණ පරපුර යහපත් පිරිසක් ලෙස නිර්මාණය කිරීමෙහි ලා මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය තරම් මුදලක් රජය විසින් වෙන්කිරීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන රජයට පමණක් කළහැකි දෙයක් නොවන බව පෙන්වාදෙන ඒ මහතා ඒ සඳහා සෑම දෙනාගේම සහයෝගය මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල ආධාර අවශ්‍ය බව ද ඇමෙරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවලින් දැනටමත් ආධාර ලැබෙන බව ද සඳහන් කරයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ උතුර, මට්ටක්කුලියේ දී ඊයේ(31) පස්වරුවේ පැවැති මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමඟාමීව දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි. කොළඹ අගරඳගුරු අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙය සංවිධාන කරන ලද අතර මත්ද්‍රව්‍ය විරෝධී පෙළපාළියකින් අනතුරුව මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා වන දැනුවත් කිරීමේ හමුව පැවැත්විණි.

එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ඇතැම් රටවල් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන් වසර විස්සකට තිහකට පමණ පෙර සිට ආරම්භ කළ නමුත් එම කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදය හේතුවෙන් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොවූ බවත් පළමුවරට මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්න ක්‍රියා කළේ 2015 වසරේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව බවත්ය.

2016 වසරේ දී මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රතිසංවිධානයක් ඇතිකරමින් පොලිසියේ ඒකක සියල්ල එකතු කළ බව ද කලකට පසුව 2017 වසරේ දී විශාල මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කළ බව ද පෙන්වාදුන් ඒ මහතා පොලීසියට පමණක් සීමා නොවී මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් ක්‍රියාකළ යුතු බව ද පෙන්වා දුන්නේය. මේ සටන වසරකින් දෙකකින් දිනාගත නොහැකි වන නමුත් ඒ වෙනුවෙන් අඩු තරමේ වසර දහයක් හෝ අවශ්‍ය බවට සිංගප්පූරුව ප්‍රකාශකර තිබෙන බව ද කිහිපවරක් හෝ ක්‍රියාත්මක කර මෙය සම්පූර්ණයෙන්ම සුද්ද කළ යුතු බව ද පැවැසීය.

මේ අතර අගමැතිවරයා පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා නව නීති අවශ්‍ය බවත් අද වනවිට නව තාක්ෂණය කෙරෙහි අවධානය යෙමුකර තිබෙන බවත්ය. මේ ක්‍රමවේදයේ නවීකරණයක් එන වසර දෙක තුළ කරන්න අවශ්‍ය වන අතරම ඒ සඳහා කැපවී සිටින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

කොළඹ අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සංචාරක සංවර්ධන වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − four =