නීතිවිරෝධී රූපලාවන්‍ය උපකරණ තොගයක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – නිෂ්පාදකයාගේ නම, නිෂ්පාදිත දිනයක්, කල් ඉකුත් වන දිනයක් හෝ නිෂ්පාදන අන්තර්ගත විස්තරයක් නොමැති, සම සුදු කිරීම සඳහා භාවිතා කරන්නේ යැයි කියන (වයිටින් සෝප්) සබන් කැට 7500ක්, ශරීර ආලේපන ලීටර් 15ක් පමණ, ඇසුරුම් 3,500ක්, විදේශ රටක නිෂ්පාදිත ‘ගෝල්ඩන්‘ සබන් කැට 250ක්, නිය ආලේපන 3,000ක් ඇතුළු භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත

කොළඹ 12, නිව් මූවර් වීදියේ නිවසක් තුළදී පසුගියදා(01) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකරුවන් පකිස්තාන ජාතිකයන් බව පාරිභෝගික අධිකාරිය කියයි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේදී සැකකරුවන් විසින් ‘ශරීර ආලේපන‘ කුඩා අසුරුම්වලට පුරවමින් සිට ඇත. එම ඇසුරුම්වල ඇලවීමට තිබූ ලේබල් 3,500ක් පමණ ද පාරිභෝගික අධිකාරිය බාරයට ගෙන ඇත. අලූත් අවුරුදු උත්සව සමයේ මෙකී නිෂ්පාදන පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවද සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබේ.

පාරිභෝගික අධිකාරිය භාරයට ගත් වයිටින් සෝප්, ශරීර ආලේපන, නිය ආලේපන තොගය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මුද්‍රා තබා ඇත. සැකකරුවන් ලබන 04වනදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිංහල- හින්දු අලූත් අවුරුදු උත්සව සමයේ ගුණත්වයෙන් උසස් භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාදීම සඳහාත්, වෙළෙඳපොළ තුළ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීමටත්, කර්මාන්ත හා වා‚ජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් මත, අඛණ්ඩ වැටලීම් කරන ලෙස විමර්ශන නිලධාරීන්ට උපදෙස් ඇතැයිද පාරිභෝගික අධිකාරියේ සභාපති ආචාර්යය ලලිත් සෙනවීර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *