රථවාහන වැරදි හතක අවම දඩය රු. 25,000ක් කිරීමේ ගැසට් පත‍්‍රය නිකුත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – රථවාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන් දහසක් දක්වා වැඩිකිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඊයේ(01) මධ්‍යම රාත්‍රියේ එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව රථවාහන වැරදි සදහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත්කරන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේය.

ඒ අනුව රියදුරු බලපත‍්‍රයක් නොමැතිව රිය ධාවනය සදහා අයකරන දඩ මුදල රුපියල් විසිපන් දහසේ සිට රුපියල් තිස් දහස දක්වා වැඩිකෙරේ. දෙවැනි අවස්ථාවේදී එම දඩ මුදල රුපියල් තිස් දහසේ සිට පනස් දහස දක්වා වැඩිකෙරෙන බව අමාත්‍යාංශය සදහන් කළේය. රියදුරු බලපත‍්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ යෙදවීමේදී අයකරන දඩ මුදල ද රුපියල් විසිපන්දහසේ සිට රුපියල් තිස් දහසක් දක්වා වැඩිකිරිමට යෝජනා කර තිබේ.

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය , එවැනි රියදුරෙකු අතින් අනතුරක් සිදුවීම , දුම්රිය මාර්ග තුළට අපරික්ෂාකාරී ආකාරයෙන් මෝටර් රථ ධාවනය සහ වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය වෙනුවෙන් ද අයකරන දඩ මුදල් රුපියල් විසිපන්දහසක අවමයකට යටත්ව වැඩිකර ඇත.

වත්මන මාරක රිය අනතුරුවලට බොහෝ විට බලපා ඇත්තේ මාර්ග නීති උල්ලංඝණය සහ රියදුරාගේ නොසැලකිලිමත් බවයි. මේ හේතුවෙන් මාර්ග අනතුරු සඳහා බහුලව බලපාන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සහ රථ වාහන වැරදි සඳහා වූ පනවන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කළ යුතු බවට යෝජනා වූයේ 2017 අයවැය යෝජනාවේ 486වැන්නෙනි. ඒ සම්බන්ධයෙන් 2016. 11.21වැනි දින මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය, බස්රථ සහ ත්‍රීරෝද සංගම් නියෝජිතයින් එක්ව මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මාර්ග අනතුරු සඳහා විශාල වශයෙන් හේතු වන වැරදි හතක් හඳුනා ගැනිණ. එම රථ වාහන වැරදි හත සඳහා පනවන දඩ මුදල විසිපන්දහස දක්වා වැඩිකිරීමටද එම සාකච්ඡාවේදී තීරණය විය. කෙසේනමුත් එම දඩමුදල් වැඩි කිරීමට විරෝධය දක්වා බස්රථ සංගම් සහ ත්‍රීරෝද රථ සංගම් වැඩවර්ජනයකට යොමු වීම හේතුවෙන් නැවත වරක් එම යෝජනාව විමසා බලා වාර්තාවක් සැපයීමට අතිගරු ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළේය.

දඩ මුදල් විමසා බැලීමට අතිගරු ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ සාමාජිකයෝ 5 දෙනෙකි. ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයකු, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – රථවාහන යන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *