අවුරුද්දටත් ඉන් පසුවත් විදුලි කප්පාදු නැහැ – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) – අලුත් අවුරුදු කාලයේ හා ඉන්පසු විදුලිය කපා හැරීම සිදු කරන්නේ නැති බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක‍ මහතා කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (03) පෙරවරුවේ මිලාගිරිය ශාන්ත පාවුලු විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයකට සහභාගි වෙමිනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

මේ සිංහල දෙමළ අවුරුද්දට ඉස්සෙල්ලා, වසර 15 ක් මේ රටේ ඇණහිටලා තිබුණ, ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්‍රශ්නය, මම සදහටම විසදනවා. ඒක විශ්වකර්මයක් නෙමෙයි. තාවකාලිකව අප සිදුකරන ඒ දේ, වසර එකහමාරකින් ස්ථිරව ඉටුකරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි පාර්ලිමේන්තුවේදි හෙලිදරව් කළා. ජනාධිපති, අගමැතිගේ අවසරය පරිදි ඉදිරියේදී එක මිනිත්තුවක්වත් විදුලිය ඇණහිටීමක් නැතිවන ආකාරයෙන් කටයුතු කරන්නයි අපි බලාපොරොත්තු වෙනවා. අපේ අද පවතින විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බැරි ප්‍රධානම කරුණ තමයි මේ පවතින වියලි කාලගුණික තත්ත්වය. ඒ වගේම හරි වේලාවට නිසි තීන්දු තීරණ නොගැනීමත් මෙයට බලපාන හේතුවක්. 2010 ඉදලා එකම මෙගාවොට් එකක්වත් අපේ ජාලයට එකතු වෙලා නැහැ. මේ ක්‍රමය අපි වෙනස් කල යුතුයි. මේ සදහා විදුලිය පිරිමැසීමත් අත්‍යාවශ්‍යයි. අපි රු. 23.00 කට නිපදවන ඒකකයක් දෙන්නේ රු. 16.00 කට. රු.7.00 ක පරතරයක් තියෙනවා. මේ පරතරයේ අලාභය වර්ෂයකට බිලියන 80 ක් වෙනවා. දළ දේශීය නිෂ්පාදනයෙන් මෙම අලාභයන් වෙනුවෙන් 6% ක් වගේ ප්‍රමාණයක් වෙන්කරනවා. මේ තත්ත්වය දැන් දරාගන්න බැරි මට්ටමට ඇවිත් තිබෙන්නේ. නමුත් මම වගකීමෙන් කියන්න කැමතියි, සිංහල දෙමළ අළුත් අවුරුද්දට පමණක් නෙමෙයි ඉන් පසුවත් විදුලි කප්පාදුව නතර කරනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 2 =