ලෝක කුසලානයට සංචිතය ගොඩනැගීමේ පළාත් තරගාවලිය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙණ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර තේරීම් කමිටුව ඇතුළු මෙරට බොහෝ දෙනෙකුගේ වැඩිම අවධානයක් දිනාගනු ලබන තරගාවලියක් ලෙසින් සැලකෙන අන්තර් සුපිරි පළාත් සීමිත පන්දුවාර තරගාවලිය අද (04 ) මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක පිහිටා ඇති ක්‍රීඩාංගණ දෙකකදී ආරම්භ වේ.

එම ක්‍රීඩාංගණ අතුරින් ප්‍රධානතම තරග පැවැත්වෙන ස්ථානය බවට පත්ව ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කය ඇතුළත පිහිටා ඇති රංගිරි දඹුලු ක්‍රීඩාංගණය වන අතර එහිදී සත්කාරක දඹුල්ල සහ කොළඹ පළාත් කණ්ඩායම් තරග වදිති. මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තරග පැවැත්වෙන අනෙක් ක්‍රීඩාංගණය වන අතර එහිදී මහනුවර සහ ගාල්ල යන පළාත් කණ්ඩායම් තරග වදිති.

තරගාවලියේ ජයග්‍රාහකයන්ට රුපියල් මිලියනයක්ද, අනුශූරයන්ට රුපියල් හත්ලක්ෂ පනස් දාහක මුදලක්ද පිදෙන මේ තරගාවලියේදී ක්‍රීඩකයන් දක්වන ලද දක්ෂතා, එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ශ්‍රී ලංකා කණ්ඩායමට මිණුම් දණ්ඩයක් ලෙස යොදා ගැනෙයි.

ලබන 11 වැනිදා දක්වා ක්‍රියාත්මක මේ තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම මූලික වටය යටතේ තරග 3 කට මුහුණ දෙන අතර වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබා සිටින කණ්ඩායම් 2 අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත. මේ තරගාවලියේදී ක්‍රීඩකයන්ට හැකි උපරිම පහසුකම් ලබාදීමට ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙන අතර ඒ සඳහා මිලියන 63 ක මුදලක් වෙන් කර තිබේ.

මේ තරගාවලියේ පැවැත්වෙන සියළුම තරග දිවා තරග ලෙසින් පැවැත්වෙන අතර අවසන් මහ තරගයද දිවා තරගයක් ලෙසින් පැවැත්වීම විශේෂත්වයකි. එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිත සියළුම තරග දිවා තරග වන බැවින්, මේ තරග සියල්ලම දිවා තරග ලෙසින් පැවැත්වීමට තීරණය වී තිබේ. තවද එංගලන්තයේ ඇති තණතීරු හා සමානවම දඹුල්ල සහ පල්ලකැලේ තණතීරු සැකසී තිබීම මෙම තරගාවලියේ සියළුම තරග මෙම ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට තීරණය වීමට ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ.

තරගාවලියට නියෝජනය කරනු ලබන දඹුල්ල කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් විසින්ද, කොළඹ පිල දිනේෂ් චන්දිමාල් විසින්ද, මහනුවර කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින්ද මෙහෙයවද්දී, ගාල්ල කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග ට පැවැරී තිබේ. දැන් ක්‍රියාත්මක අයි. පී. එල්. තරගාවලිය නියෝජනය කිරීම සඳහා ඉන්දියාවට ගොස් සිටින ලසිත් මාලිංග ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවනු ලබන අවසන් ක්‍රීඩකයන් 15 දෙනා මේ මස 15 වැනි දිනට පෙර තෝරා ගැනීම තේරීම් කමිටුවේ බලාපොරොත්තුව වී තිබෙන අතර, එසේ තෝරා පත්වන කණ්ඩායම, සිංහල අවුරුද්දට පසු හෙවත් 16 වැනිදා සිට 23 වැනිදා දක්වා සතියක පමණ කාලයක් දඹුල්ල ක්‍රීඩාංගණයේ විශේෂ පුහුණු සැසියකට සහභාගිකරවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා තිබෙන පරිදි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන සියළුම කණ්ඩායම්, අප්‍රේල් මස 23 වැනිදාට ප්‍රථම ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන සංචිතය නම් කළ යැවිය යුතුය.

තරග කාල සටහන

4 දා කොළඹ – දඹුල්ල (දඹුල්ල)

මහනුවර – ගාල්ල (පල්ලකැලේ)

6 දා දඹුල්ල – ගාල්ල (දඹුල්ල)

කොළඹ – මහනුවර (පල්ලකැලේ)

8 දා දඹුල්ල – මහනුවර (දඹුල්ල)

කොළඹ – ගාල්ල (පල්ලකැලේ)

10 දා තෙවැනි ස්ථානය තේරීමේ තරගය (දඹුල්ල)

11 දා අවසන් මහ තරගය (දඹුල්ල)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *