BOC තුරුණු දිරියෙන් ණයලාභීන් 664කට මිලියන 275ක්

(කොළඹ, ලංකාපුවත්) – කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවමින් ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කරවීම අරමුණ කරගත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍ර‍මයේ ණය නිකුත් කිරීම් අප්‍රේල් මස මුල් සතිය වන විට 664 දක්වා ඉහළ ගොස් ඇති අතර එහි සමස්ත වටිනාකම මිලියන 275 ඉක්මවයි.

අප්‍රේල් මස 03වැනි දින ණය යෝජනා ක්‍රමය පිළිබදව ලංකා බැංකුව මගින් ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තා ඇසුරින් මෙම තොරතුරු අනාවරණය විය.

මෙම ණය ව්‍යාපෘතිය මගින් මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන ලෙස ව්‍යවසායක ණය නිකුත් කර ඇති අතර දිස්ත්‍රික් හා පළාත් වශයෙන් ව්‍යවසායකයින් දැනුවත් කරමින්ක්‍රියාකාරී ලෙස ව්‍යවසායක ණය නිකුත් කරමින් පවතී. රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙම සතිය වන විට ව්‍යවසායක ණය 104ක් සම්පුර්ණ කිරීමට සමත් වී ඇත. එය එක් දිස්ත්‍රික්කයක් මගින් මෙතෙක් නිකුත් කළ ඉහළම ණය සංඛ්‍යාව ලෙස වාර්තා වෙයි. සබරගමුව පළාත ව්‍යවසායක ණය 131ක් නිකුත් කරමින් පළාත් අතර ඉදිරියෙන්ම සිටියි.

උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත,වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි සිටින සහ වසර 40කට නොවැඩි තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතවඅඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි. දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

ලංකා බැංකුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍ර‍තිපත්ති, ආර්ථික කටයුතු, නැවැත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේමධ්‍යම වැඩසටහන්කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළුව දිවයිනේ සියළුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් හි මැදිහත් වීම මත මෙම ණය යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *