අලුත් අවුරුදු සමයේ මගී ආරක්ෂාව වෙනුවෙන් නව නීති

(කොළඹ, ලංකාපුවත්) –සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් වැඩිපුර මුදල් අයකරන හා ප්‍රවේශ පත්‍ර නොදෙන බස් රථවල මාර්ග බලපත්‍රය අත්හිටුවන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පැවසීය.

මීට අමතරව මේ මස 09 වැනි දින සිට 20 වැනි දින දක්වා බස්නාහිර පළාතේ බස් රථවලට විනෝද චාරිකා හා විශේෂ ගමන් සඳහා බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බවද ඒ මහතා පැවසීය.

එසේම උත්සව සමයේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන්ගේ සියලුම නිවාඩු අවලංගු කර ඇති අතර මගී ජනතාවට අවශ්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට කොළඹ, කළුතර හා ගම්පහ යන පළාත්වල සිටින ප්‍රාදේශීය කළමනාකරුවන්ට බලය පවරා ඇත.

අදාළ කාලසීමාව තුළ බස් නැවතුම්පොළවල් හා බස් රථවල ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම සඳහාද නිලධාරීන් යොදවා ඇත. එම නිලධාරීන් බස් රථවලට ගොඩවී ප්‍රවේශපත්‍ර පරීක්ෂා කළ යුතු බවද සභාපතිවරයා පැවසීය.

උත්සව සමයේ බස්නාහිර පළාතේ තිබෙන පෞද්ගලික බස්රථ 6,250ක්ම ධාවනය සඳහා එක් කර ඇති අතර එසේ ධාවනය නොකරන බස් රථ තිබේ නම් ඒවාට විරුද්ධව දැඩි පියවර ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ඉහත සඳහන් කරුණු සහ වෙනත් අකටයුත්තක් පෞද්ගලික බස්රථ මඟින් මගී ජනතාවට සිදුවන්නේ නම් 0112860860 දුරකථන අංකයට පැමිණිලි කරන ලෙසත් මහජන පැමිණිලි සඳහා පැය විසි හතර පුරා විවෘත විශේෂ ඒකකයක් දියත් කර ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *