මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකේය දුම්රිය ගමනාගමන ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය අද (08) විවෘත විය. ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

මුහුදු බඩ දුම්රිය මාර්ගය මාතර සිට කතරගම දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මාතර සිට බෙලිඅත්ත දක්වා වන දුම්රිය මාර්ගය විවෘත කෙරුණි. මංගල සමරවීර ,අර්ජුණ රණතුංග යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්වන අශෝක් අබේසිංහ, දිලීප් වෙදආරච්චි යන මහත්වරුන් සහ නිමල් සිරිපාල ද සිල්වා, චමල් රාජපක්ෂ ,මහින්ද අමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී ආරාධිතයන් මාතර දුම්රිය ස්ථානයේදී බෙලිඅත්ත දක්වා පළමු දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදීගෙන ආගමික වතාවත්වලින් අනතුරුව මාතර සිට බෙලිඅත්ත දක්වා මංගල දුම්රිය ගමන්වාරය ආරම්භ කෙරුණි.

1991 වසරේදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මාතර කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි. ඊට අදාළ මුල්ගල අදට ද මාතර දුම්රිය ස්ථානයේ දක්නට ලැබේ.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය දුම්රිය නැවතුම් ස්ථාන හයකින් සමන්විතයි. පිලදූව ,වෙහෙරහේන, කැකනදුර, බඹරැන්ද , වැව්රුකන්නල සහ බෙලිඅත්ත එම දුම්රිය ස්ථානයි. මාතර පිලදූව දුම්රිය ස්ථානය විවෘත කිරීම අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් සිදු කෙරුණා. අමාත්‍ය අර්ජුණ රණතුංග , රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ , හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට ද එක්ව සිටියහ.

කැකනදුර දුම්රිය ස්ථානය ද අමාත්‍ය මංගල සමරවීර , අමාත්‍ය අර්ජුණ රණතුංග යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන දුම්රිය සංඛ්‍යාව හතකි. ඉන් එක් දුම්රියක් ගාල්ල දක්වා ද දුම්රිය හතරක් මරදාන දක්වා ද ගමන් කරයි. සෙසු දුම්රිය දෙක යාපනය සහ වව්නියාව දක්වා ගමන් කිරීමට නියමිතය.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රිය ගණන හයක් වන අතර ඉන් පහක ගමනාන්තය මරදාන දුම්රිය ස්ථානයයි. එක් දුම්රියක් වව්නියාව දක්වා ගමන්කරනු ලැබේ.

ලංකාවේ දිගම දුම්රිය පාලම වන වටගම පාලම මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දී හමුවේ. එහි දිග මීටර 1500කි. එමෙන්ම දෙවන ස්ථානයට දිගින් වැඩිම දුම්රිය පාලම ද මෙම දුම්රිය මාර්ගයේ දී හමුවීම විශේෂත්වයකි. නිල්වලා ගග හරහා ඉදිකර ඇති එහි දිග මීටර 1400කි.

පොළව මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටා ඇති දුම්රිය පාලම ද මෙම දුම්රිය මාර්ගයේ වෙහෙරගොඩ ප්‍ර දේශයේ දී දැකගත හැකියි. එය අඩි 61ක උසකින් යුක්තයි. කැකනදුර දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇති දුම්රිය උමග මෙරට දිගින් වැඩිම දුම්රිය උමග බවට පත්වේ. එය අඩි දෙදහස් දාහතක දිගකින් යුක්තය.

එපමණක් නොව ලංකාවේ දිගම දුම්රිය වේදිකාව බවට පත්වන්නේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + 8 =