පතල් කැණීම් නිසාවෙන් නාවලකන්ද ගිලා බසී

(කොළඹ, ලංකාපුවත්) –කළුතර දිස්ත්‍රිකයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 849-D ග්‍රාමසේවා වසමට අයත් නාවලකන්ද ප්‍රදේශය පතල් කැණීම් හේතුවෙන් ගිලා බැසීමේ අවදානමක් මතුව ඇතැයි නාවලකන්ද, සමනල යෞවන සමාජය සදහන් කරනු ලැබේ.

එම යෞවන සමාජය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ.

කළුතර දිස්ත්‍රිකයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 849-D ග්‍රාමසේවා වසමට අයත් නාවලකන්ද, අළුකැටිය ප්‍රදේශය ආශ්‍රිතව 1938 වසරේදී පමණ මිණිරන් කැනීම සඳහා මිනිරන් පතලක් ආරම්භ කරන ලද අතර එය කාලයත් සමග අධික ලෙස ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් කැණීම් නතර කරන ලදි. පසුව 1997 වසරේදී ද යලි වැඩ ආරම්භ කරමින් කැණීම් සිදු කල අතර පෙර පරිදිම පතල ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් නිසි ක්‍රමවේදයකට අනුව භූමිය අභ්‍යන්තරයේ කැණීම් සිදු කල දෝනා කිසිවක් වසාදැමීමකින් තොරව ඒ අවස්ථාවේදීත් පතල් කැණීම් නතර කර දමා ඇත.

එවකට සිදු වූ පතල් කැණීම් වල ප්‍රතිඵල හේතුවෙන් පතල් කැණීම් භූමිය ආශ්‍රිතව පිහිටි කඳු මුදුන 2014 වර්ෂයේදී විශාල නාය යාමකට ලක්වීමෙන් විනාශ විය. එමෙන්ම ඊට පෙරද විශාල නාය යෑම් හේතුවෙන් අවට නිවෙස් වලටද හානි සිදු විය. මෙවැනි අවදානම් පරිසරයක ජීවත් වූ නාවලකන්ද ජනතාවට අවදානම් තත්වය වැඩි කරමින් 2015 වර්ෂයේදී විදේශීය සමාගමක් නැවතත් මේ භුමියේ පතල් කැනීම් ආරම්භ කලේය.

පොළව අභ්‍යන්තරය තුළ දෝනා විශාල ප්‍රමාණයකින් සමන්විත, අධික නාය යෑම් සිදු වන ප්‍රදේශයක නැවත මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ප්‍රදේශයේ ජනතාවට විශාල අවධානම් සහිත කරුණක් හේතූවෙන් නැවතත් පතල් කැණීම් ආරම්භ කිරීම වෙනුවෙන් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල වූ අතර ඒ පිළිබඳව ප්‍රදේශ වාසීන් අදාල නිලධාරීන් දැනුවත් කරමින් මාධ්‍ය නිවේදන පවා යොමු කලද එයින් පලක් නොවීය. ප්‍රදේශවාසීන්ගේ විරෝධය තුල විදේශිය සමාගම විසින් පතල් කැණීම් සිදුකරගෙන ගියේය.

නාවලකන්ද යනු ශ්‍රී ලකාව පුරා පවතින වනාන්තර පද්ධතියේ ඉහලම ජෛව විවිධත්වයක් හිමි සදාහරිත වැසි වනාන්තරවලට මැදි වූ ගම්මාන සහිත සුවිශේෂි පරිසර පද්ධතියකි. පතල් කැනීම් කල විදේශිය සමාගම මෙම පරිසර පද්ධතිය විශාල වශයෙන් දූෂණය කරමින් ඔවුන්ගේ කටයුතු සිදුකරගෙන ගියේය.මෙලෙස විනාශකාරී අයුරින් කටයුතු කිරීම නිසාවෙන් ඔවුන්ට 2018 වර්ෂයේ බලපත්‍ර අලුත්කිරීම සඳහා අවසර ලබාගත යුතු ආයතන කීපයක අවසරය හිමි නොවීය. එසේ අවසර නොමැති වීමෙන් පතල් කැණීම් නතර කිරීමට ඔවුන්ට සිදු විය. ඔවුන්ද කැණීම් කටයුතු සිදුකරමින් පැවති පතල් වලවල් එලසින්ම තබා පතල් කැණීම් නතර කොට පසුගිය වසරේ මැද භාගයේදී ප්‍රදේශයෙන් පිටත්ව ගියේය.

කෙසේ උවත් අවසන් වරට පතල් කැණීම් ආරම්භ කරන අවස්ථාවේදී ප්‍රදේශවාසීනගේ විරෝධතාවයන්ට තුඩු දුන් කරුණු මේ වන විට සනාථ කරමින් පතල් කැණීම් භූමිය ක්‍රමක් ක්‍රමයෙන් ගිලා බැසීමට ලක්වමෙින් පවතී. පසුගිය සතියේ දිනක පතල් කැණීම් සිදු කල භූමියේම කොටසක් ගිලා බැසීමට ලක් වීය. මෙම ගිලා බැසීමට ලක් වූ ස්ථානය ප්‍රදේශය හරහා වැටී ඇති ප්‍රධාන මාර්ගයට මීටර කීපයක් ආසන්නයේ වීම නිසාවෙන් මාර්ගයේ ගමන් කිරීමද මේ වන විට දැඩි අවදානම් තත්වයක පවතී.

දැඩි නියඟ ස්භාවයක් පවතින වකවානුවක මෙලසෙ ගිලා බැසීමට ලක්වන්නේ නම් වර්ෂාකාලය තුලදී කුමන විනාශයක් සිදුවිය හැකි දැයි බියකින් ප්‍රදේශ වාසීන් පසුවන අතර වකවානු කීපයක් තුලදී පතල් කැණීම සඳහා සකස් කල දෝනා බොහෝදුරක් පොලව අභ්‍යන්තරයෙන් ගමන් කර තිබෙන අතර මේවා ගිලා බැසීමට ලක්වුව හොත් මුළු ප්‍රදේශයම ගිලා බැසීමේ අවධානමක් පවතී. එමෙන්ම මෙම පතල් කැණීම් සිදු කල දෝනා හේතුවෙන් මේ වන විට ප්‍රදේශයේ ජල උල්පත් විශාල වශයෙන් සිදී ගොස් ඇති අතර මේ හේතුව නිසාවෙන් ප්‍රදේශවාසීන් විශාල ලෙස පීඩා විඳින අතරම ප්‍රදේශයේ පවතින රක්ෂිත වලට විශාල බලපෑමක් එල්ල වී පවතී.

නාවලකන්ද ගම්මානය මුහුණ දී ඇති මේ අවධානම සම්බන්ධව එදා වගකිවයුතු නිලාදාරීන් දැනුවත් කලද ඔවුන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් අදවන විට මෙවැනි තත්වයන් උත්ගත වී ඇති අතර. වගකිවයුතු බලදාරීන් මේ ගිලා බැසීම් පිළීබඳව සොයා බලා එය වලක්වා ලීමට කටයුතු සිදු කිරීමත්. නිසියාකාරව වසා නොමැති පතල් වලවල් නිසියාකාරව වසා දමා නැවත පතල් කැණීම් නතර කොට සිදුවීමට නියමිත විශාල හානියක් වලක්වා ලීමට දැන්වත් කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *