ජාතික රූපවාහිනී අවුරුදු මෙවර වීරවිල සහ තිස්සමහාරාමයේ සිට

(කොළඹ, ලංකාපුවත්) – ජාතික රූපවාහිනියේ ‘සිරිලක පිරි අවුරුදු සිරි‘ බක්මහ වැඩසටහන් මාලාව අප්‍රේල් 13 සහ 14 යන දිනවල වීරවිල සහ තිස්සමහාරාමයේ සිට සජීව ලෙස විකාශය කෙරේ.

අප්‍රේල් 13 උදේ 08.30 සිට ජලක්‍රීඩා තරග වීරවිල පන්නෙගමුව වැව් පරිශ්‍රයේ සිට සජීව ලෙස ඉදිරිපත් කරනු ලබයි. එදින පස්වරු 03.30 සිට විකාශය කෙරෙන්නේ අවුරුදු කුමාරි විශේෂාංගයයි.

අප්‍රේල් 14 ඉරිදා දහවල් 01 සිට නැකැත් චාරිත්‍ර සජීව ලෙස ගෙන එන්නේ ජනපති නිල නිවස, රූපවාහිනී පරිශ්‍රය සහ තිස්සමහාරාමය යන ස්ථාන ත්‍රිත්වය සමගාමීව සම්බන්ධ කරගනිමිනි. එදින රාත්‍රී 09.00 ට ‘සුන්දර නුවරඑළිය‘ මහෝත්සවයේ සිට විකාශය කෙරෙන සජීව සංගීත ප්‍රසංගය සමග එක්වීමට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට අවකාශය සැලසේ.

අප්‍රේල් 15 සඳුදා උදේ 08.00 ට ‘සිරිලක පිරි අවුරුදු සිරි‘ පාපැදි සවාරිය සහ මැරතන් තරගය ඇරඹේ. ඊට සමගාමීව විවිධ දේශීය ක්‍රීඩා වලින් සමන්විත අතිඋත්කර්ෂවත් අවුරුදු ක්‍රීඩා මංගල්‍යය තිස්සමහාරාමයේ සිට විකාශය කෙරේ. දහස් ගණන් රූමතියන් අතුරින් රූපවාහිනී ‘රූ කිරුළ‘ දිනාගන්නා අවුරුදු කුමරිය අභිෂේක ගන්වන විචිත්‍රවත් උළෙල පැවැත්වෙන්නේ එදින පස්වරු 06.00 සිටය. රාත්‍රී 09.30 ට ඇරඹෙන සංස්කෘතික අංගයන් සපිරි අවුරුදු සංගීත ප්‍රසංගය පසුදා අලූයම 01.30 දක්වා විකාශය වේ.

මේ අතර මෙවර හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය කළුතර බෝම්බුවල රජමහා විහාරයේ සිට ප්‍රේක‍ෂකයන් වෙත සජීව ලෙස රැගෙන ඒමට රූපවාහිනිය විධිවිධාන යොදා ඇත.

ඊට අමතරව අවුරුදු නාට්‍ය මාලාවක්, සංගීතමය විචිත්‍රාංග සහ ජනප්‍රිය චිත්‍රපටද මෙම දින කිහිපය තුළ ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − one =