ශ්‍රී ලංකාව වටා මුහුදේ සිදුවන හදිසි තෙල් විසිරුම් පාලන පෙරහුරුව අවසන්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව වටා මුහුදේ සිදුවන හදිසි තෙල් විසිරුම් පාලනය කිරීමේ දෙදින පෙරහුරුව පසුගියදා සාර්ථකව අවසන් විය.

ශ්‍රී ලංකාව යනු ගොඩබිම මෙන් 8 ගුණයක් විශාල මුහුදු කලාපයක් සහ 1340km ක සුන්දර වෙරළ තීරයක් උරුම දිවයිනකි. එසේම ලංකාව පිහිටා ඇත්තේ පෙර අපර දෙදිග මුහුදු මාර්ගයට ඉතා සමීපව බැවින් ඕනෑම මොහොතක ඉන්ධන /බොරතෙල් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නැව් මගින් හෝ වෙනයම් ආකාරයකට සයුරට එකතුවිය හැකිය.

ශ්‍රී ලංකාව වටා ඇති සාගරයේ දූෂණය වැළැක්වීමට,කළමනාකරණයට ඇති ප්‍රධානතම ආයතනය වන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියයි. මේ අනුව නැව් මගින් හෝ වෙනත් අයුරකින් සයුරට එක් වන තෙල්( බොරතෙල්/ඉන්ධන ආදිය) හා රසායනික ද්‍රව්‍යවලට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දක්වමින් පරිසරය යථා තත්වයට පත්කිරීම සදහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික හදිසි ‍‍තෙල් විසිරුම් පාලන සැලැස්මක් (NOSCOP – National Oil Spill Contingency Plan) පවතී.

එම ජාතික හදිසි ‍‍තෙල් විසිරුම් පාලන සැලැස්මට අනුව අවශ්‍ය උපකරණවල කාර්යක්ෂමතාවය සහ අනෙකුත් සම්බන්ධිත ආයතනවල හැකියාවන් සහ සහයෝගිතාවය පරීක්ෂාවට ලක්කරමින් වඩාත් විධිමත් කිරීමේ අරමුණින් මෙම පෙරහුරුව 2019 අප්‍රේල් මස 04 සහ 05 දෙදින ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව අවසන් විය. කොළඹ වරායට නුදුරු මුහුදේ නැවක් මගින් ටොන් 150ක ඉන්ධන කාන්දුවක් සිදුවී ඇතැයි උපකල්පනය කරමින් මෙම පෙරහුරුව පවත්වන ලදී.

කොළඹ වරාය,වැල්ලවත්ත සහ ගල්කිස්ස මුහුදු තීරයේ ක්ෂේත්‍ර අභ්‍යාස කටයුතු සිදුකළ අතර එය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය මගින් කළමනාකරණය කෙරීණි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය,වෙරළ ආරක්ෂක බලකාය,ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව,මධ්ය.ම පරිසර අධිකාරිය,ගිනි නිවන හමුදාව,වරාය අධිකාරිය ඇතුළු ආයතන ගණනාවකගේ සහභාගිත්වයෙන් මෙය සිදු කෙරිණි. මේ අනුව අප මුහුදු තීරයේ සිදුවන ඕනෑම තෙල් විසිරුමකට කඩිනම් ප්‍රතිචාර දක්වමින් පරිසරය යථා තත්වයට පත් කිරීම ඇතුළු අනෙකුත් කටයුතු සදහා ඇති හැකියාව තවදුරටත් වර්ධනය වීම සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *