ඇමති සුජීව, හාවර්ඩ් සරසවියේ ගෝලීය සවිබලගැන්වීමේ සමුළුවට

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රේම්බිජ්, මැසචුසෙට්හි, හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානය (CID) විසින් 11 වන වරට සංවිධානය කරනු ලබන, වාර්ෂික ගෝලීය සවිබලගැන්වීමේ සමුළුව (GEM 19) සදහා සිව්වැනි වරටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහභාගී විය.

ඒ සඳහා හාවර්ඩ් විශ්වවිද්‍යාලය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් ඇරයුම් කරනු ලැබ ඇති අතර සමුළුව අප්‍රේල් මස 09 සහ 10 යන දිනවල පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ජාත්‍යන්තර ප්‍රතිපත්ති සම්පාදකයින්, ප්‍රධාන විධායක නිලධාරීන්, බහුපාර්ශ්වීය සංවිධානයන්හි ප්‍රධානීන් සහ සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර තිරසර සෞභාග්‍ය ළගා ගැනීම ඇරමුණු කරගනිමින් නවතම පර්යේෂණ සහ නව්‍ය අදහස් මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

තවද, මෙම ගෝලීය සවිබල ගැන්වීමේ සමුළුවේදී, (GEM 19) සංවර්ධනය වෙමින් පවත්නා රටවල් හමුවේ පවත්නා පහත සඳහන් කර ඇති ගැටළු සඳහා අවශ්‍ය තිරසර විසඳුම් පිළිබඳව සාකච්ඡා කෙරිණි. එම ගැටළු අතරට,

වත්මන් සංවර්ධන මට්ටම අවබෝධ කරගැනීමට රාජ්‍ය අංශයේ ශාක්‍යතාවය අපට උපකාර වන්නේ කෙසේද? රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය, දේශපාලන අධිකාරීත්වය, ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා සහ බලය යනාදියෙහි පරිණාමය සඳහා බලපාන සාධක කවරේද? රාජ්‍ය අංශයේ ශාක්‍යතාවය වර්ධනය කිරීම හමුවේ ඇති ප්‍රධාන අභියෝග කවරේද? දේශපාලන අධිකාරීත්වය විසින් පනවා ඇති සීමාවන් සහ දැනට පවතින රාජ්‍ය අංශයේ ශාක්‍යතාවයන්, විසින් සිදුකරන ප්‍රතිසංස්කරණයන් ආදිය ඇතුලත් වේ.

දේශපාලන විද්‍යාඥයෙකු හා ග්‍රන්ථ රාශියක කතුවරයෙකු වන මහචාර්ය ෆැන්සිස් ෆුකුයාමා සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහචාර්යවරයෙකු සහ ගෝලීය අර්බුද පිළිබඳ අධ්‍යනය සහ විසඳුම් ලබාදීම සඳහා වන පියර්සන් ආයතනයේ අධ්‍යක්ෂ, ජේම්ස් රොබින්සන් යන මහත්වරුන් මෙම සමුළුවේ ප්‍රධාන දේශකයින් ලෙස සහභාගී විය.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානය විසින් 2016 වර්ෂයේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා පැවති හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහචාර්ය රොබට් ලෝරන්දස් විසින් ආරම්භ කරනු ලැබු ‘Mastering Trade Policy: Understanding and Acting in Today’s Economy,’ යන තේමාව යටතේ පැවැති විධායක අධ්‍යාපන වැඩසටහනට මෙන්ම 2017 සහ 2018 GEM සමුළු සඳහා සිය සහභාගීත්වය ලබා දීම හේතුවෙන් අමාත්‍ය සේනසිංහ සහ හාවර්ඩ් සරසවිය අතර ද සමීප සබඳතාවක් ගොඩනැගී තිබේ.

මේ හේතුවෙන්, 11 වැනි වරටත් පවත්වනු ලබන ගෝලීය සවිබලගැන්වීමේ හමුව සඳහා සහභාගී වීමට අමාත්‍යවරයා ඇරයුම් ලබා ඇති අතර, අමාත්‍ය සේනසිංහ මහතා ලද මෙම අවස්ථාව, විශේෂිත ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ දැනුම ලබා ගැනීමට මෙන්ම අදහස් හුවමාරු කරගැනීමටත් විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන පදනම් කරගත් ආර්ථිකයක් හඹා යන, සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස ශ්‍රී ලංකවට අපේක්ෂිත සංවර්ධන ඉලක්ක වෙත ළගාවීමේ දී වැදගත් වන ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට අවකාශ විවර කරගැනීමට, රට වෙනුවෙන් පෙනීසිටීමට ලද මහඟු අවස්ථාවක් ලෙස සැලකිය හැක.

ඉදිරියේ දී අමාත්‍යාංශය විසින් විද්‍යා හා තාක්ෂණ විෂය ක්ෂේත්‍රය සාමාන්‍ය පොදු සමාජය වෙත සමීප කරවීමට ක්‍රියාත්මක කරන ශිල්ප සේනා වැඩසටහන පිළිබඳව ජාත්‍යන්තර විශේෂඥයින් දැනුවත් කිරීමටත්, ඒ සඳහා සංවර්ධිත රටවලින් සහය ලබාගැනීමට අවශ්‍ය සබඳතා ගොඩනගා ගැනීමටත් අමාත්‍යවරයා කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *