කර්මාන්ත දිරිගන්වන්න බැංකු ණය පොලිය අඩුකරනවා

(කොළඹ, ලංකාපුවත්) –දැවැන්ත සංවර්ධනයක් රට තුළ ක්‍රියාත්මක කරමින් ජනතා සුබසිද්ධිය සැලසීම උදෙසා සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාර දිරිගැන්වීමට රාජ්‍ය හා වාණිජ බැංකු ණය පොලී අනුපාත කඩිනමින් අඩු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධව ව්‍යාපාරිකයන් දැනුම්වත් කරමින් බැංකු පොලී අනුපාත අඩු කිරීමේ නියමය ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලය ලබන සතියේ නිකුත් කරන බව පැවසූ අගමැතිවරයා මේ තුළින් ණය බර අඩුවෙන බව අවධාරණය කළේය. තව සති හයකින් තවත් ආකර්ෂණීය සංශෝධන ලබාදීම අරමුණ බවත් අගමැතිවරයා අධිෂ්ඨානපූර්වකව පැවසීය. පොලී අනුපාත අඩුකිරීම ඉකුත් වසරේ සිදු කිරීමට නියමිතව තිබුණත් දින පනස් දෙකක කාල පරාසය තුළින් ඊට බාධා එල්ල වුණ බව සිහිපත් කළ අගමැතිවරයා එම දින පනස් දෙක තුළදී අමෙරිකා ඩොලර් මිලියන දහසක් රටට අහිමි වුණ බවත් සඳහන් කළේය. රටේ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් බැංකු පොලී අනුපාත අඩු කර ගැනීමට හැකිවුණ බව නිහතමානීව මෙහිදී අගමැතිවරයා පැවසුවේ සිනා පිරුණු මුවින්ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊ‍යේ (10) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මාධ්‍යවේදීන් හමුවේ මේ බව පවසමින් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

බැංකු ‍පොලී අනුපාත සඳහා පාදක වන දර්ශකාංග අගය (basis points) අඩු කිරීමට ඉදිරියේදී පියවර රැසක් ගන්නවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්, වරලත් ගණකාධිකාරී අයතනයේ ගණකාධිකාරවරු, මුදල් සහ ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයන්හි නිලධාරීන්, අගමැති ලේකම්, ඇමති මලික් සමරවික්‍රම මහත්වරුන් එක්වී සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසින් බැංකු ණය පොලී අනුපාත අඩු කිරීමට හැකි වී තිබෙනවා. ඉහළ යමින් පවතින පොලී අනුපාත පහළ හෙලීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුවට නිර්දේශ කිරීමට මෙම ක්‍රියාකාරී පිරිස පත් කළා. අඩු බැංකු පොලී අනුපාතවල අවශ්‍යතාවය ව්‍යාපාරවල දියුණුවට අවැසි බවත්, ඒ තුළින් රටේ සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබාදීමට හැකි බවට ව්‍යාපාරික අංශ විසින් පෙන්වා දී තිබුණා. ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් මෙම මහඟු කටයුත්ත සිදු කළා. තැන්පත්කරුවන්ට ලබාදෙන පොලිසය සීමා කිරීමටත් අවධානය යොමු වී තිබෙනවා. බැංකු පොලී අනුපාත අඩු කිරීම හේතුවෙන් රාජ්‍ය හා වාණිජ බැංකු වලින් ණය ලබාගැනීමට පෙළඹෙනවා. රට සංවර්ධනය සිදු වෙනවා. රැකියා උත්පාදන වැඩි වෙනවා. යථා කාලයේදී අවශ්‍ය සහන තවත් ලබාදෙනවා. හසල ආර්ථික විශේෂඥයකු වන ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බැංකු පොලී අනුපාත අඩු කිරීම පිළිබඳව සවිස්තරව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුම්වත් කිරීමට අද (11) සිටම පියවර ගන්නා බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.

ඉතා විශාල අභියෝග රැසක් මත ආණ්ඩුව මෙවර සාර්ථක අය වැයක් රටට ඉදිරිපත් කළ බවත්, ජාත්‍යන්තර වෙළඳාම තුළ ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස ආනයන වියදම් වල සිදු කළ මනා මූල්‍ය කළමනාකරණය වෙළඳ හිඟය අඩු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉකුත්දා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය. රුපියල ශක්තිමත් වී තිනෙ බවත් එහිදී පැවසු මහ බැංකු අධිපතිවරයා රත්‍රන් සහ වාහන මෙරටට ගෙන්වීම සඳහා වූ වියදම් පාලනයට ගත් ක්‍රමවේද හේතුවෙන් ආනයන වියදම් පහත වැටී තිබෙන බවත් පැවසීය. ආනයන අපනයන පරතරය අඩුවීම ඇතුළු ධනාත්මක කරුණු රැසක් තුළින්ද වාසි ලැබී තිබේ. තවද ජාත්‍යන්තර වෙළඳාම තුළ ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස ආනයන වියදම්වල සිදු කළ මනා මූල්‍ය කළමනාකරය හේතුවෙන් වෙළඳ හිඟය අඩු වී තිබෙන බවත් වැඩිදුරටත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *