අලුත් අවුරුද්දේ ගැඹුරු හරය තේරුම් ගත යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – වෙළෙඳපොළ යන්ත්‍රණයේ පාරිභෝගික මතවාදයට හසු වී ඇති අලුත් අවුරුදු උත්සවයේ ගැඹුරු හරය තේරුම් ගැනීම වර්තමානය වනවිට වැදගත් කරුණක් වී ඇති බව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“මිහිතලය මත ජීවයේ පැවැත්ම සඳහා හිරු සඳු නමැති සාධක අතිශයින් තීරණාත්මක වූ හෙයින් දුරාතීතයේ සිටම මිනිසුන් මේ ග්‍රහවස්තු යුගල බැතියෙන් වන්දනාමාන කළේය. සොබාදහම දේවත්වයෙන් සැලකීම සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රජුගේද පිළිවෙත විය. මේ අනුව වාර්ෂිකව හිරු සඳු වන්දනා කිරීමට මෙරට ජනතාව අවුරුදු සමයෙහි පෙලඹී තිබේ. වාර්ෂිකව අප්‍රේල් මාසයේ හිරුගේ මුදුන් වීම උත්සවශ්‍රීයෙන් සමරන සිංහල හා දෙමළ ජනතාව නව වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රයද සිදු කරති.

වාර්ෂිකව සූර්ය සංක්‍රාන්තියත් සමඟ එළැඹෙන අලුත් අවුරුද්ද යනු මිනිසා පරිසරය හා සොබාදහම වන්දනා කිරීමේ උෙලළකි. අස්වනු නෙළා ගෙට ගැනීමෙන් අනතුරුව බුදුන්ට, දෙවියන්ට පූජාකොට ඉන්පසු පරිභෝජනයට ගන්නා මේ සංතුෂ්ටියේත්, සාමූහිකත්වයේත්, අන්‍යෝන්‍ය සම්බන්ධතා වර්ධනයේත් සමය ලෙසද ජනතාව ස්වකීය ජාතික අනන්‍යතාව ප්‍රකාශ කරන අවස්ථාවක් ලෙස අලුත් අවුරුද්ද හැඳින්විය හැකිය.

බක් මාසය යනුවෙන් හඳුන්වන්නේ එය භාග්‍ය සම්පන්න කාලයක් වන බැවිනි. ගස්වල නව මල් ඵල හටගැනෙන සොබාදහමේ සියලු ප්‍රකාශයන්හී උද්දාම බවක් දක්නට ලැබෙන මේ කාලසීමාව සතුට උදාවන බැවින් එය අලුත් අවුරුද්ද ලෙස හඳුන්වමු. ස්වභාවධර්මයේම දරුවන් වන අප එය බැහැරින් ඇති යමක් ලෙස සලකා ඊට අවහිර කෙළෙමු. දැන් අප එළැඹ සිටිනුයේ සොබාදහම සමඟ එකාත්මික වීමේ අවශ්‍යතාව වඩවඩාත් දැනෙන මොහොතක් වෙතය.

මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල භුක්ති විඳිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට මේ අලුත් අවුරුද්දේ එක්සිත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළ ගැසෙමු යැයි යෝජනා කරමින් අලුත් අවුරුදු ප්‍රීතිය අත්විඳින මෙරට ආදරණීය ජනතාව මෙන්ම එතෙර දිවි ගෙවන සියලු ශ්‍රී ලාංකික ජනතාවට සෞභාග්‍යයෙන් යුත් සාමකාමී සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රර්ථනා කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *