ආණ්ඩුකාර කුසලානය 15වනදා

(කොළඹ, ලංකාපුවත්) – රාජකීය තුරඟ සමාජය වසන්ත සමයේ පවත්වන තුරඟ තරගමාලාවේ ප්‍රධානතම අදියරවූ ආණ්ඩුකාර කුසලාන (Governors Cup) තරගය මේ මස 15 වැනිදා නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි.

වසර 1926දී පමණ ආරම්භ වූ ආණ්ඩුකාර කුසලානය (Governors Cup) වෙනුවෙන් පවත්වන තරගයට මෙවරත් වැඩි අවධානයක් යොමුව ඇති අතර දෙස් විදෙස් නරඹන්නන් විශාල පිරිසක් මේ තරගය වෙනුවෙන්ම නුවරඑළිය ප්‍රදේශයට පැමිණෙනු ඇතැයි රාජකීය තුරඟ සමාජය විශ්වාසය පළ කරයි. ආණ්ඩුකාර කුසලාන (Governors Cup) තරගයේ ජයග්‍රාහකයන් අතර රුපියල් ලක්ෂ 2.5ක මුදලක් බෙදාදීමට කටයුතු යොදා ඇත.

වසන්ත සමයේ පවත්වන තුරඟ තරගමාලාවේ පළමු අදියරේ ප්‍රධානතම තරගයෙන් සියුම් ජයක් පූර්ණි එඩ්වර්ඩ් මහත්මියට අයත් සැන්ටෝස් අසුට හිමිවූ අතර ගාමිණී ජයරත්න මහතාට අයත් බාහසාගර් අසු අතර දශම ගණනකින් දෙවැනි තැනට පත්විය. වසර ගණනාවක් පිට පිට ජය වාර්තා කළ නුවරඑළිය තුරඟ තරග පිටියේ රැජන ලෙස හැඳින්වූ දීප්තිකා ජයකොඩි මෙනවියගේ ‘අල්කසාබා’ වෙළඹ පසුගියදා නිමාවූ තරගාවලියට එක්නොවූ අතර මේ 15 දා ආණ්ඩුකාර කුසලාන (Governors Cup) තුරඟ තරගයට පිවිසෙන බව රාජකීය තුරඟ සමාජයේ භාණ්ඩාගාරික නිසිත රූපසිංහ මහතා පැවැසීය. එබැවින් සැන්ටෝස්ට හා බාහසාගර් යන අශ්වයන් දෙනොට අල්කසාබා සමග ප්‍රබල සටනකට පිවිසීමට සිදුවේ.

පසුගිය වසරේදී හසංග ජයරත්න මහතාට අයත් ‘මෙහෙරාන්’ අසුට දීප්තිකා ජයකොඩි මෙනවියගේ ‘අල්කසාබා’ සියුම් ලෙස පරාජයවීම ආන්දොලනාත්මක සිදුවීමක් විය. මෙවර ‘මෙහෙරාන්’ අසු ආණ්ඩුකාර කුසලාන ප්‍රධාන තරගයට එක් නොවේ.

ආණ්ඩුකාර කුසලානය මෙන්ම රැජන කුසලානය (Queens Cup) වෙනුවෙන් පවත්වන තරගය ද සෑම වසරකම විශාල තරගකාරීත්වයක් ඇති ආකර්ශනීය එකක් බවට පත්ව ඇත. අමෙරිකා එක්සත් ජනපදය තුළ, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ හා ඔස්ට්‍රේලියාවේ තුරඟ තරගවල ප්‍රධාන කුසලාන සේම ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර කුසලානය (Governors Cup) හා රැජන කුසලානය (Queens Cup) ප්‍රසිද්ධියක් උසුලන හෙයින්මේ තරගවල ජයග්‍රහාකයන් පිළිබඳව අවධානය වැඩි වශයෙන් යොමුවේ.

රැජන කුසලානය (Queens Cup) වෙනුවෙන් දීප්තිකා ජයකොඩි මෙනවියට හා පූර්ණි එඩ්වර්ඩ් මහත්මියට අයත් රොස්වර්ල්ඩ් අසු, ගාමිණී ජයරත්න මහතාට අයත් ස්ටාර් ස්කොලර්, පූර්ණි එඩ්වර්ඩ් මහත්මියට අයත් ස්ටෝර්මොන්ට්, ෆ්යර්ලස් ස්ටේබල් හා ස්ටඩ් ෆාම්ට අයත් සෙලෙස්ටියල් ෆයර්, ඩේවිඩ් ඇන්තනී මහතාට අයත් ගෝ ග්‍රීන් හා අසංග ජයරත්න මහතාට අයත් ස්ටාර් ඒස් සටනට සූදානමින් සිටිති.

පසුගිය වසරේ පැවැති තුරග තරග 89කදී රුපියල් මිලියන 25.1ක මුදලක් ජයග්‍රාහකයන්ට පිරිනැමුණු අතර මෙවර ද රන් ආලේපිත ආණ්ඩුකාර කුසලානය හා රැජන කුසලානය සමග ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට නුවරඑළිය රාජකීය තුරඟ සමාජය කටයුතු කොට ඇත.

තුරඟ තරග පැවැත්වෙන අතරතුරදී මියුරු සංගීතය හා ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත ශ්‍රවණය කිරීමට අවස්ථාව උදාවන අතර සංගීතය සමග මුසුවූ නර්තනය ද අලංකාර විලාසිතා දැක්මක් ද පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =