අධ්‍යාපනයේ උන්නතියට ගෙන ඇති පියවර යුනෙස්කෝවේ ප්‍රසාදයට

(කොළඹ, ලංකාපුවත්) –යුනෙස්කෝ සංවිධානයේ 206 වෙනි විධායක මණ්ඩල රැස්වීම පසුගියදා (09) ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණි.

යුනෙස්කෝ හි විධායක මණ්ඩලයේ 206 වැනි සැසිවාරය ආරම්භ කරමින් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්රි අසූලේ (Audrey Azoulay) මහත්මිය යුනෙස්කෝව ලෝකයේ වත්මන් අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීමේ සංවිධානාත්මක ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ක්ෂේත්‍රයන් රැසක් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළාය.

විශේෂයෙන් කෘත්‍රිම බුද්ධිය ,අධ්‍යාපනය,කාන්තාවන්ගේ සහ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය,මාධ්‍ය නිදහස සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව සටන් කිරීම වැනි කරුණු පිළිබඳවද ඇය මෙහිදී විශේෂයෙන් අවධාරණය කර සිටියේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය 21 වන සියවසේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අධ්‍යාපන හැදෑරීමේ වැදගත්කම මතුකරන ලදි,.

අධ්‍යාපනයේ නව ප්‍රමිතීන් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි යුනෙස්කෝ මහා සභා රැස්වීමේ දී අධ්‍යපනයේ සුදුසුකම් පිළිගැනීම පිළිබඳ සම්මුතියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළාය.

යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපති සහ යුනෙස්කෝ විධායක මණ්ඩල සමාජික අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රැස්වීමට එක් වෙමින් ශ්‍රී ලංකාව මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ විධායක මණ්ඩලය දැනුවත් කරන ලදි.

නූතන ලෝකය රැකියා අවස්ථාවන්ට ගැළපෙන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සිදු කිරීමට මේ වන විටත් ශ්‍රී ලංකා රජය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුකර ඇති බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන පිළිබඳව ද යුනෙස්කෝ විධායක මණ්ඩලය දැනුවත් කර සිටියේය.

සාමාන්‍ය පෙළ විභාග කඩඉම අසමත්ව සහ ලෝකයේ ඉදිරියට යා හැකි වෘත්තීය නිපුණතාවන් අත්පත් කර ගැනීමට නොහැකිව ජීවන අර්බුදයන්ට මෙන්ම සමාජ ගැටලු රැසකට දරුවන්ට මුහුණ පෑමට සිදුව තිබූ වටපිටාවක එම අධ්‍යාපනයේ විශමතාවන් බැහැර කරමින් මෙම වැඩසටහන හඳුන්වාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පැහැදිලි කළේය.

දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ විෂමතාවන් බැහැර කරමින් අධ්‍යාපනයේ සම අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් දියත් කර ඇති ළඟම පාසල – හොදම පාසල වැඩසටහන පිළිබඳවද යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපතිවරයා එහි විධායක මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදි.

මීට අමතරව වයස අවුරුදු 5 සිට 19 දක්වා වන සියලුම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම පිණිස රජය විසින් නොමිලේ හඳුන්වා දී ඇති “සුරක්ෂා” රක්ෂණාවරණය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී විධායක මණ්ඩලයේ අවධානය යොමු කළ අතර ශ්‍රී ලංකා රජය දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ගෙන ඇති සාධනීය පියවරයන් යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටුවේ ඇගැයීමට පාත්‍ර විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *