හෝටල් සහ ආපනශාලාවල ආහාර පරීක්ෂා කිරීම් අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) –සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඉළක්ක කර ගනිමින් දිවයින පුරා ආහාර පරිහරණ ආයතන, හෝටල් සහ ආපන ශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර තිබේ.

පසුගිය මාර්තු 15 දින සිට ආරම්භ කළ මෙම වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මකය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1700 ක් සහ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් 50 කට අධික සංඛ්‍යාවක් මෙම වැඩපිළිවෙලට දායක වී සිටිති. උත්සව සමය වෙනුවෙන් නිෂ්පාදනය කරන ආහාර වර්ග සැකසීම සදහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය, කෙසෙල් වැනි පළතුරු වර්ග, හෝටල්, ආපන ශාලා, පරීක්ෂා කිරීමට මෙහිදී කටයුතු කර ඇත.

මාර්තු මස 15 දින සිට අප්‍රේල් මස 10 දින දක්වා ආහාර වැටලීම් 1412 ක් සිදු කර ඇත. එහිදී හොටල් සහ ආපන ශාලා 10,872 ක් පරික්ෂා කර ඇති අතර, හෝටල් සහ ආපන ශාලා 21 කට මුද්‍රා තබා තිබේ. ඒ මහජන සෞඛ්‍යයට අහිතකර තත්ත්ව යටතේ ආහාර සැකසීම හේතුවෙනි. එසේම වෙළෙද ව්‍යාපාරිකයින් 2821 කට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවැරීමට කටයුතු කර ඇත. තවත් වෙළෙද ව්‍යාපාරිකයින් 616 කට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇත.

සෞඛ්‍ය, අමාත්‍යවරයාගේ උපදෙස් මත අප්‍රේල් මස 01 දින සිට 07 දින දක්වා ආහාර සුරක්ෂිතතා සතියක් ද ක්‍රියාත්මක විය. එහිදී ආපනශාලා, හෝටල් සහ ආහාර අලෙවි කරන ස්ථාන, දුරගමන් බස් රථ ආපන ශාලා ද පරික්ෂාවට ලක් කරන ලදි.

ඇතැම් දුරගමන් බස් රථ ආපන ශාලා පිළිබදව මහජනතාවගෙන් වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇති අතර, එම ආපන ශාලා ඉදිරියේ දී විධිමත්ව පරීක්ෂා කිරීම සදහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු යොදා ඇත. මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයෙන් ලැබුනු සහයෝගය ද සෞඛ්‍ය අමාත්‍යවරයා අගය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *