හම්බන්තොට වරාය ගෝලීය නාවුක සේවා සිතියමට

(කොළඹ, ලංකාපුවත්) –හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සිය නාවුක තෙල් ගබඩා බෙදාහැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා පර්යන්ත ලොව ප්‍රකට සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා තිබේ.

ජාත්‍යන්තර වරායක නාවුක සේවා මෙහෙයුම් අතර වඩාත් වැදගත්ම කාර්යභාරයක් වන නෞකා තෙල් සැපයුම හා බෙදාහැරීම සඳහා මේ අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය ද ගෝලීය නාවුක සේවා සිතියමට එක් වේ.

ඒ අනුව හම්බන්තොට වරායට පැමිණෙන මෙන්ම ඊට ආසන්න ජාත්‍යන්තර නාවුක මාර්ගයේ ගමන්ගන්නා නෞකා සඳහා ද සේවා සැපයීමට මෙම වසරේ අග භාගයේ සිට හැකියාව ලැබෙනු ඇත.

සයිනොපෙක් ඔයිල් සමාගම මෙම මෙහෙයුම් කටයුතු භාර ගැනීමත් සමගම ලොව පිළිගත් IMO 2020 නීතියට අනුකූලව VLSFO හෙවත් අවම සල්ෆර් සංයුතියක් සහිත ඛණිජ තෙල් භාවිතයෙන් අදාල සේවා සපයන මෙම කලාපයේ එකම ස්ථානය බවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය පත් වෙනු ඇත.

ලෝකයේ නාවුක තෙල් සේවා මෙහෙයුම් ප්‍රබලයෙකු වන සයිනොපෙක් ඔයිල් සමාගම සමග ගිවිසුම් ගත වීමට ලැබීම පිළිබඳ අදහස් දක්වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රේ රෙන් මහතා මෙම කලාපයේ තෙල් සේවා සහ මෙහෙයුම් අතරින් ප්‍රමුඛයා වීමේ හම්බන්තොට වරායේ ඇති අභිප්‍රාය මෙන්ම ඉදිරියේදී හම්බන්තොට සතු තෙල් ගබඩා සංකීර්ණ පුළුල් කිරීමේ සැලසුමේ මූලික කටයුතු ආරම්භවී ඇති බව සදහන් කළේය.

ලෝකයේ පෙරදිග හා බටහිර යා කරන ප්‍රධානතම වාණිජ සේවා නාවුක ගමන් මාර්ගයේ වසරකට පමණක් නෞකා 31000 ගමන් කරන අතර ඊට නාවුක සැතපුම් 10 ක තරම් මෑත දුරකින් පිහිටා තිබෙන හම්බන්තොට වරායේ භූගෝලීය වාසිය උපරිම ලෙස අත්කරගැනීමේ සිය සැලසුම් හා හැකියාව පිළිබඳ රේ රෙන් මහතා සිය විශ්වාසය පළ කල සිටියේය.

ටෙන්ඩර් පිරිනැමීම පිළිබඳ අදහස් දක්වන හම්බන්තොට වාරය සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී තිස්ස වික්‍රමසිංහ මහතා ලෝකයේ රටවල් රැසක සමාගම් 23 ක් අතරින් විනිවිදභාවයෙන් හා ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද වලට අනුව යමින් සයිනොපෙක් ඔයිල් සමාගමට මෙම ටෙන්ඩරය ලබා දුන් බව පැවසීය.

තරඟකාරී මිල ගණන් වලට ජාත්‍යන්තර තත්ත්වයෙන් යුත් වඩාත් උසස් සේවාවක් සිය ගණුදෙනුකරුවන් වෙත ලබා දීමට සයිනොපෙක් ඔයිල් සමාගමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සයිනොපෙක් ඔයිල් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන ගණකාධිකාරී හන් ෂුවේලිං මහතා හම්බන්තොට තෙල් මෙහෙයුම් සේවා පිළිබඳ අදහස් දක්වමින් ලොව පිළිගත් VLSFO හෙවත් අවම සල්ෆර් සංයුතියක් සහිත ඛණිජ තෙල් සේවා හා මෙහෙයුම් සඳහා සිය සමාගමේ කැපවීම අවධාරණය කළේය.

එමෙන්ම හම්බන්තොට වරාය නාවුක ක්ෂේත්‍රයේ වාණිජ උපායමාර්ගික වටිනාකම සිය සමාගම ද මැනවින් වටහා ගෙන ඇති බව ද පැවසීය.

චීනයේ බෙයිජිං නුවර සිය මූලස්ථානය පිහිටුවා ඇති සයිනොපෙක් ඔයිල් සමාගම තෙල් සහ ඛණිජ සම්පත් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛ පෙලේ සමාගමකි.
ලෝකය පුරා වරාය 40 ක සිය මෙහෙයුම් පවත්වාගෙන යන සයිනොපෙක් ඔයිල් සමාගම සතු ඔවුන්ටම අයිති තෙල් ගුදම් 25 ක වරකට පවතින දළ තෙල් ගබඩා පරිමාව ඝණ මීටර පහළොස් ලක්ෂ පනස් දහසකට අධික වේ .

මෙම අවස්ථාව පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රේ රෙන් මහතා ඉදිරි වසර පහක කාලය තුල හම්බන්තොට වරාය සතු වර්ෂික තෙල් ටොන් ධාරිතාව දස ලක්ෂය ඉක්මවීම සිය ඉලක්කය බව පැවසීය.

සයිනොපෙක් ඔයිල් සමාගමේ තරඟකාරී මිල ගණන් මගින් දේශීය තෙල් සේවා සැපයුම්කරුවන් වෙත ද අවස්ථාව උදා වන බව පවසන රෙන් මහතා එමගින් දකුණු ආසියාව තුළ නාවුක තෙල් සේවා මධ්‍යස්ථානය බවට පත්වීමේ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ඉලක්කය එක්ව ජය ගත හැකි වනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *