ජාතික තව්හිත් ජමාත් නායකයා මියගියේ ද යන්න “ප්‍රශ්නාර්ථයක්”

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට සැක කෙරෙන ජාතික තව්හිත් ජමා’අත් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් එම මරාගෙන මැරෙන ප්‍රහාර වලින් මියගියේ ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් බව ආරක්ෂක අංශ පවසති.

බීබීසි සිංහල සේවය මේ පිළිබඳ වාර්තා කර ඇත.

බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ පරීක්ෂණවලටට සම්බන්ධ ආරක්ෂක ප්‍රධානියෙක් පැවසුවේ එම පුද්ගලයා මෙම බෝම්බකරුවන් අතර සිටින බවට තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවය.

බදාදා (අප්‍රේල් 24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් ගුණසේකරගෙන් මේ බව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, “මෙම කණ්ඩායමට නායකත්වය දුන් පුද්ගලයා මිය ගිය බව පමණක් මට තහවුරු කළ හැකියි,” යනුවෙනි.

එම පුද්ගලයා ජාතික තව්හිත් ජමා’අත් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් ද යන්න විමසූ විට ඔහු පැවසුවේ ඒ ගැන තමන්ට ප්‍රකාශයක් කළ නොහැකි බවය.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත්තේ මෙම මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් නැමැත්තා බවට මාධ්‍ය වාර්තා කරන නමුත් පොලිසිය පවසන්නේ එම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකර ඇත්තේ වෙනත් පුද්ගලයෙක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *