සංවර්ධන ව්‍යාපෘතිවල හිඟ මුදල කෝටි 8450ක් රජය ගෙවයි

(කොළඹ, ලංකාපුවත්) – මං මාවත්, ගොඩනැඟිලි, පාලම්, ක්‍රීඩා පිටි ඇතුළු ජනතාවගේ පහසුකම් වැඩි දියුණු කිරීමට රජය රට පුරා ක්‍රියාත්මක කළ විවිධ සංවර්ධන වැඩසටහන්වලට කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට නියමිතව තිබූ හිඟ මුදලින් රුපියල් කෝටි 8450ක් මේ වන විට ගෙවා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.

කොන්ත්‍රාත්කරුවන්ට හා රජයේ විවිධ ආයතනවලට ගෙවිය යුතු මුදලින් සියයට 85ක් ඒ අනුව ගෙවා අවසන් බව ද ලේකම්වරයා සඳහන් කෙළේය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙසේද කියා සිටියි.

රජයේ අමාත්‍යාංශ හා විවිධ ආයතන මඟින් ක්‍රියාත්මක කළ විවිධ වැඩසටහන් සඳහා 2018 දෙසැම්බර් 31 වන විට ගෙවිය යුතුව තිබූ රු. මිලියන 84,461ක මුදලක් මේ වන විට මහා භාණ්ඩාගාර‍ය අදාළ අංශ වෙත ගෙවා ඇත.

2018 දෙසැම්බර් 31 වන විට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හා අනෙකුත් ගෙවීම් සඳහා රු. මිලියන 99,415ක බිල් පවත්නා බව මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දී තිබුණි. එයින් 85%ක් මේ වන විට ගෙවා ඇති අතර, ඉතිරි ගෙවීම් වලට අදාළ අඩු පාඩු පවතින බැවින් ඒවා නිරවුල් කළ වහාම එම මුදල් ද ගෙවීමට කටයුතු කරන බව මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවසීය.

රජයේ අමාත්‍යාංශ හා විවිධ ආයතන මඟින් ක්‍රියාත්මක කරන ලද කොන්ත්‍රාත්, ඉදිකිරීම් හා ප්‍රසම්පාදන කටයුතු වෙනුවෙන් ගෙවිය යුතු මුදල් පිළිබඳ ඉල්ලීම් සෑම වසරකම දෙසැම්බර් මස අවසන් වන විට ලැබූ විට එම මුදල් එළඹෙන වසරේ මුල් මාස 3 – 4ක් ඇතුළත ගෙවීම් කිරීම 2015 වසරේ සිට අඛණ්ඩව සිදුවෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *