ජාතිවාදය ඇවිස්සුවොත් වැඩ වරදී

(කොළඹ, ලංකාපුවත්) –ජාතිවාදය අවුස්සනසුලු හෝ ජාතීන් හා ආගම් අතර නොසන්සුන්තාවක් ඇති වන ආකාරයට කටයුතු කරන පුද්ගලයන්, කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන් දැනට බලපවත්වන හදිසි නීති රෙගුලාසී යටතේ තරාතිරම නොබලා තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ ප්‍රකාශ, මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප, වෙනත් ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන හෝ ප්‍රකාශයට පත් කරන අයට දැනට බලපවත්වන හදිසි නීති රෙගුලාසි යටතේ තරාතිරම නොබලා නීතිය තදින් ක්‍රියාත්මක වේ.

එසේම අසත්‍ය ප්‍රකාශ කරන හෝ කටකතා පතුරුවන හෝ ඒ සඳහා කුමන ආකාරයේ හෝ මාධ්‍යයක් භාවිත කරන පුද්ගලයින්, කණ්ඩායම් හෝ සංවිධානවලට එරෙහිවද නීතිය තදින් ක්‍රියාත්මක කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

තවද ආරක්ෂක අංශ නොමඟ යවනසුලු ප්‍රකාශ නිකුත් කරන සහ ක්‍රියා සිදු කරන පුද්ගලයන්, කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කරන බවත්, එම නිසා මෙවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස මහජනතාවට, කණ්ඩායම්වලට සහ ඒවා ප්‍රකාශයට පත් කරන ආයතන වෙත තරයේ දැනුම් දෙන බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *