IS මර්දනය කිරීමේ හැකියාව හමුදාව සතුයි – මහාචාර්ය රොහාන් ගුණරත්න

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් සංවිධානය ශ්‍රී ලංකාව තුළ මර්දනය කිරීමේ හැකියාව මෙරට හමුදාවන් සතු බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා අවධාරණය කරයි.

ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව කඩිනමින් ජාතික ආරක්ෂක පනතක් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම වැදගත් බවය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ බවට සැක කෙරෙන මොහොමඩ් සහරාන් නැමැත්තාව මෙරට බුද්ධි අංශ විසින් 2010 වසරේ සිට දන්නා නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඔහු මිනීමරුම් හෝ අපරාධවලට සම්බන්ධ නොවුනු බැවින් යැයි මහාචාර්යවරයා පෙන්වා දෙයි. මෙම සැකකරු සිදු කරනු ලැබුවේ වෙනත් ආගම්වලට අපහස කිරීමයි.

නමුත් ජාතික ආරක්ෂක පනතක් මගින් වෙනත් ආගම්වලට විරුද්ධව ක්‍රියාකරන සහ විරුද්ධව කතාකරන පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීති සම්පාදනය කිරීමේ හැකියාව පවතී. එමගින් සහරාන් වැනි අයවළුන් බිහි නොවනු ඇති බව මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පෙන්වා දෙනු ලැබේ.

ත්‍රස්තවාදය මර්දනය කිරීමට ශ්‍රී ලංකාව ශක්තිමත් ය. නමුත් ශ්‍රී ලංකාව ශක්තිමත් නැත්තේ රැඩිකල් අගමික පුද්ගලයින් සමඟ වැඩකර ඒ අය පුනරුත්ථාපනය කිරීමට බව ඒ මහතා කියා සිටියි. එවැනි තැනැත්තන් අත්අඩංගුවට ගැනීමට බලය පවතින පනතක් ස්ථාපිත විය යුතුය.

මේ අවස්ථාවේ දී මුස්ලිම් ප්‍රජාව ශ්‍රී ලංකා රජය සමග කටයුතු කර මෙවැනි රැඩිකල් මත දරන සංවිධාන කඩාකප්පල් කිරීමට සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලීමක් ද ගුණරත්න මහතා සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ පවතින මුස්ලිම් ආගම අතීතයේ සිට පියාගෙන් පුතාට පැමිණි සුන්දර ධර්මයකි. නමුත් මැදපෙරදිගෙන් පැමිණෙන ඉස්ලාම් ආගමික මතවාදය ශ්‍රී ලංකාවට කිසි සේත් නොගැලපෙන බව පෙන්වා දෙන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා කියා සිටියේ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන දේශකයන්වද නීතියේ රැහැනට හසු කරගෙන දැඩි දඩුවම් ලබා දීමට පියවර ගත යුතු බවයි.

මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකි. ඔහු සිංගප්පූරුවේ නැංයැං තාක්ෂණික විශ්වවිද්‍යාලයයේ දේශපාලන ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICPVTR) අංශ ප්‍රධාන වෙයි. ඒ මහතා අයි එස් ත්‍රස්තවාදය පිළිබඳ ග්‍රන්ථ රැසක් ද රචනා කර ඇත. එසේම ‘THREE PILLARS OF RADICALIZATION‘ නැමැති කෘතිය ගුණරත්න මහතාගේ නුදුරේදීම නිකුත් වීමට නියමිත ග්‍රන්ථය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *