ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ විශේෂ දේව මෙහෙයක්

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ හා තුවාල ලැබූවන් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලාල් වික්‍රමතුංග මහතා විසින් ශාන්ත මරියා දේවස්ථානයේ දී සංවිධානය කරනු ලැබූ විශේෂ දේව මෙහෙය සඳහා ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය මෙරයිස් පෙයින් මහත්මිය ද එක් වූවාය.

මෙම විශේෂ දේව මෙහෙය සිඩ්නි අගරදගුරු ආචාර්ය ඇන්තනි ෆිෂර් විසින් සිදු කළ අතර දේව මෙහෙයෙන් පසු සිඩ්නිහි වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව සමග මහ කොමසාරිස් කාර්යාලය විසින් නිහඬ ආලෝක පූජාවක් ද සංවිධානය කර තිබුණි.

ශාන්ත මේරි දේවස්ථානයේ දී අමාත්‍ය මෙරයිස් පෙයින් විසින් ශෝක ප්‍රකාශ සටහන් පොතෙහි සිය සංවේගය සටහන් කරමින් ඕස්ට්‍රේලියානුවන්ගේ යාච්ඤාවන් හා සිතිවිලි මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් සමග වන බව සඳහන් කළාය. මෙම ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් ගේ පවුල් හා මිතුරන් සමග කණගාටුවන බවත් ඕස්ට්‍රේලියානු රාජය වෙනුවෙන් සිය ශෝකය පළ කරන බවත් අමාත්‍යවරිය වැඩි දුරටත් සටහන් කර තිබුණි.

මෙම අවස්ථාවේ ඕස්ට්‍රේලියානු රජය ලබා දුන් සහය අගය කළ මහ කොමසාරිස් ලාල් වික්‍රමතුංග මහතා, මෙම ප්‍රහාරයෙන් මිය ගිය ශ්‍රී ලංකා- ඕස්ට්‍රේලියා ද්විත්ව පුරවැසි මව සහ දියණිය වෙනුවෙන් ශෝකය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 15 =