නව අධිරාජයාගේ පත්වීමෙන් ජපානය පුරා සැණකෙළි

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ නව අධිරාජයා ලෙස නරුහිතෝ කුමරු එරට සිහසුනට පත් ව තිබේ.

නව අධිරාජයා ඊයේ(01) සිට එහි වගකීම සහ රාජකාරි ආරම්භ කරන ලදි.

අකිහිතෝ අධිරාජයා පසුගිය 30වනදා නිල වශයෙන් තනතුරෙන් තම ධූරය අතහැරීමෙන් පසු ඔහුගේ පුත් නරුහිතෝ කුමරු එම තනතුරට පත්වී ඇත. 85 හැවිරිදි හිටපු අධිරාජයා ශතවර්ෂය දෙකකට පසු රජකමෙන් ඉවත් වූ ප්‍රථම අධිරාජයා බවට පත් විය. තම වයස සහ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹි බව අකිහිතෝ අධිරාජයා පවසා තිබුණි.

59 හැවිරිදි නරුහිතෝ නව අධිරාජයාට පරම්පරාවෙන් උරුම කැඩපතක්, කඩුවක් සහ මාණික්‍යයක් රජකමට පත් වීමත් සමඟම හිමි වී තිබේ. රටේ සහ ලෝකවාසී ජනතාවට ශුභ සිද්ධිය සහ සතුට ප්‍රාර්ථනා කරන බව නව අධිරාජයා ප්‍රකාශ කර සිටියි.

නරුහිතෝ කුමරු එරට 126 වැනි අධිරාජ්‍යයා ලෙස ඊයේ දිවුරුම් දුන්නේය. ඒ ජපානයේ ටෝකියෝ අගනුවර ඉම්පීරියල් මන්දිරයේදී ය.

නරුහිතෝ අධිරාජ්‍යයා පත්වීමත් සමඟ ජපානයට ඊයේ සිට රයිවා නමින් නව යුගයක් ආරම්භ විය. එහි තේරුම වන්නේ විධානය සහ සමඟිය යන්නයි. මෙම නව යුගය නරුහිතෝ අධිරාජ්‍යයා සිය ධුරයේ සිටින තෙක් පවතිනු ඇත.

ඊයේ පැවති සාම්ප්‍රදායික උත්සවය සදහා කාන්තාවන් සහභාගි නොවූ අතර ඉන් පසුව පැවැත්වූ නිල උත්සවය සදහා රජ පවුලේ සියළුදෙනා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටියහ.

ජපානයේ ඓතිහාසික සංකේතයක් ලෙස අධිරාජ්‍යයෙකු සැලකේ. නව යුගයක ආරම්භයත් සමඟ ජපාන වැසියන් සතියක් පුරාවට විවිධ සාම්ප්‍රදායික උත්සව සමරමින් සතුට භුක්ති විඳියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 5 =