ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනැංවීමට රටවල් රැසක සහය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනැංවීම සඳහා රටවල් රැසක සහයෝගය ලැබෙමින් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හා ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා පවසයි.

ඒ අනුව ඉදිරි මාස කිහිපය ඇතුලත මෙරට සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට ගෙන ඒමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බව ගෝමස් මහතා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සදහන් කළේය.

ආරක්ෂක අංශ රටේ ආරක්ෂක තත්ත්වය සහතික කිරීම වෙනුවෙන් විධිමත් පියවරයන් ගනිමින් පවතී. ඒ අනුව ඉදිරියේදී මෙරටට පනවා ඇති සංචාරක අනතුරු ඇඟවීම් ඉවත්කරගැනීමට අදාළ විදෙස් රටවල් පියවර ගනු ඇති බවත් සී එන් එන් නාලිකාව හා මැදපෙරදිග රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ජාවන්ට එක්වෙමින් ගෝමස් මහතා පැවසීය.

මේ දිනවල පැවැත්වෙන අරාබි ජාත්‍යන්තර සංචාරක සල්පිලේ දී ද ශ්‍රී ලංකාව සමග සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාර සඳහා ඉදිරියටත් ආයෝජන කිරීමට විවිධ රටවල ව්‍යාපාරික ආයතන ඉදිරිපත් වූ බවද, ගෝමස් මහතා කියා සිටියේය.

ගෝලීය ත්‍රස්තවාදය අද මුළු ලොවටම තර්ජනයක්ව ඇති බවත් , මෙම ගෝලීය ත්‍රස්තවාදය හේතුවෙන් අද ලොව සාමකාමීම , ආරක්ෂිතම රට හෙට ලොව අනාරක්ෂිතම රට විය හැකි බවත් , එමනිසා ගෝලීය ත්‍රස්තවාදය මැඩලීම් සඳහා ලොව සියලු රටවල් අත්වැල් බැඳ ගතයුතු බව ගෝමස් මහතා මෙහිදී අවධාරණය කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *