ජන ජීවිතය යථාතත්ත්වයට ගේන්න සැවොම එක්ව කටයුතු කළ යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය නිසා රටේ විශාල කැළැඹීමක් ඇති වුවත්, දැන් ජන ජීවිතය යථාතත්ත්වයට පත්කරලීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා එසේ පැවසුවේ ඊයේ (01) රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සිවිල් සංවිධාන දැනුවත් කිරීම සඳහා අරලියගහ මැදුරේ පැවති විශේෂ රැස්වීමේදීය.

මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස් ආරක්ෂක හමුදාවන් විසින් නීතියට යටත් කර තිබෙන බව පෙන්වාදෙන අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා, මෙවැනි ක්‍රියා නැවත සිදු නොවීමට වගබලාගත යුතු බවත්, ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සෑම රටක්ම එක්ව බුද්ධි අංශ තොරතුරු හුවමාරු කර ගනිමින් ගෝලීය තර්ජනය ජය ගැනීමට ඉදිරියට යා යුතු බවත් අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ ඊයේ (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සිවිල් සමාජ ක්‍රියාකාරින් දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ රැස්වීමකදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

රටේ උද්ගතව තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව සිවිල් සමාජය දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන මේ රැස්වීමට සහභාගි වන ලෙස මට ද ආරාධනාවක් ලැබුණා. පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා රටේ විශාල කැළඹීමක් ඇති වුණා. දැන් අප ජන ජීවිතය යථාතත්ත්වයට පත්කළ යුතුයි.

පසුගිය 21 වැනිදා මෙම ප්‍රහාරය එල්ලවන විට ජනාධිපතිතුමා සිංගප්පූරුවේ සිටියත්, එතුමා සමඟ අප සාකච්ඡා කළා. ඒ මොහොතේම අපි, අපේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළා. පොලිසිය, විශේෂ කාර්ය බළකායත්, ත්‍රිවිධ හමුදාවත් මෙම වැඩ කටයුතුවල නියැළුණු නිසා එදින සවස් වන විට තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි වුණා. ඉදිරියේදී තවත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට තිබෙනවා.

මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝදෙනෙක් මියගියා. මේ වනවිට ඊට සම්බන්ධ තවත් පිරිසක් රටේ නීතියට යටත් කරගෙන තිබෙනවා. තව ඉතිරිව සිටින්නේ ස්වල්ප දෙනෙක් පමණයි. මේ සම්බන්ධ වැඩකටයුතු අපේ ආරක්ෂක අංශවලට කඩිනමින් නිමකළ හැකි බවට අපට විශ්වාසයක් තිබෙනවා.

දැන් අපි නැවත සාමාන්‍ය ජන ජීවිතයට යා යුතුයි. එසේ නොවුණහොත් එය ත්‍රස්තවාදයට යටත්වීමක් වෙනවා. මේ නිසා ලබන සිකුරාදා මුස්ලිම් පල්ලිවල ආගමික කටයුතු ආරම්භ කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ වගේම ඉරිදා දිනයේ ක්‍රිස්තියානි දේවස්ථානවල ද පූජා පවත්වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ලබන සතියේ සිට රටේ පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන ඇමැතිතුමා පියවර ගෙන තිබෙනවා. මේ අනුව ක්‍රමානුකූලව සාමාන්‍ය ජන ජීවිතය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙන බව කිව යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *