මසූද් අෂාර් ගෝලීය ත්‍රස්ත ලැයිස්තුවට

(කොළඹ, ලංකාපුවත්) – අන්තවාදී ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ සමගම ඔහුගේ ජාත්‍යන්තර වත්කම් සියල්ල අත්හිටුවන අතර ගෝලීය සංචාරක තහනමක් සහ ආයුධ තහනමක් ද පැනවේ.

පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන
ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කළත් චීනය විසින් තාක්ෂණික කරුණක් මතු කිරීම හේතුවෙන් එම යෝජනාව කල් තැබිණි.

චීනය තම විරෝධතා ඉවත් කරගැනීමත් සමඟ මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඊයේ (01) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පියවර ගත්තේය.

ඉන්දීය සෙබළු 40ක් මරුමුවට පත් කරමින් පසුගිය දා කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම බාර ගනු ලැබුවේ ද ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය යි.

මේ හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ යුද්ධයක අවදානම තවමත් පහ වී නැත.

මසූද් හා අල් කයිඩා සංවිධානය අතර ඇති සබඳතා ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීමට ප්‍රධාන සාධකය විය. 2001 වසරේදී ඔහුගේ නායකත්වයෙන් යුත් ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *