විකිලික්ස් නිර්මාතෘ ජූලියන්ට සති 50ක සිර දඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් රාජධානියේ ඇප කොන්දේසි කඩ කිරීම් චෝදනා පිට විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් සති 50ක කාලයක් සඳහා සිර ගත කොට ඇත.

ජුලියන් වසර හතක් පමණ කාලයක් ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය ලබමින් පසු විය.

ඉක්වදෝර් රජයේ ආරාධනාවක් මත බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරීන් තානාපති කාර්යාලය තුළටම ගොස් ජූලියන් අසාන්ජ්ව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

බ්‍රිතාන්‍යයේ ඇප කොන්දේසි කඩ කිරීම සහ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම යන චෝදනා අසාන්ජ්ට එල්ල වී තිබේ.

ඒ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසුව ලන්ඩන් නුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය පොලිසීය විසින් කටයුතු කළේ ය.

අදාළ චෝදනාවන්ට වැරදිකරුවීම හේතුවෙන් මෙලෙස ඔහුට සති 50 ක දඬුවම් කාලයක් නියම කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ යුද රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් ජූලියන් අසාන්ජ්ට එරටින් චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් ද අමෙරිකා එක්සත් ජනපදය තුළ විභාග වෙමින් පවති.

ජූලියන් අසාන්ජ්ව තම රටට භාර දෙන ඔහුව අත්අඩංගුවට ගත් මොහොතේම අමෙරිකානු රජය ඉල්ලීමක් කළ බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

නමුත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මේ වන තුරු ප්‍රතිචාරයක් දක්වා නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *